ලොව තුළ අලුතින් වාර්තා වන නව කොරෝනා (කොවිඩ්-19) වෛරස රෝගීන්ගේ සිදුවීම්වලට පැහැදිලි සබඳතාවක් නොමැති බව පෙනෙන්නට අතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අදානොම්
පවසයි. ඒ අනුව මෙම වෛරස ආසාදිතයන් සතුව මෑතකදී චීනය වෙත සංචාරය කිරීමක් හෝ වෛරසය ආසාදනය වූ බවට ස්ථිර පුද්ගලයෙකු හා සබඳතා පැවැත්වීමක් යනාදිය පිළිබදව කරුණු අනාවරණය නොවන බව ඔහු සදහන් කරයි. ඒ අනුව මේ තත්ත්ව සම්බන්ධයෙන් දැන් සිය සංවිධානයේ මූලික අවධානය යොමුව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගේ අදහස වී තිබේ.


දැනට එම සංවිධානයට වාර්තා වී ඇති දත්ත අනුව චීනය තුළ මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 75,569 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඉන් 2,445 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, තවත් 22,936 දෙනෙකු මින් සුවය ලබා තිබේ. මෙම ආසාදිතයන් අතරද 80%කගේ තත්ත්වය සාමාන්‍ය වන අතර 20%කගේ පමණක් දරුණු තත්ත්වයේ ලක්ෂණ පෙන්වති.

මෙහිදී වෛරසයේ වැඩිම අවදානම ඇත්තේ වයස්ගත පුද්ගලයන්ට බව පවසන ටෙඩ්රොස්, දරුවන් අතරද ඉතාමත් සුළු මට්ටමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇතැයිද පෙන්වා දෙයි. මේ අතර චීනයෙන් පිටත රටවල් 28කදී නව කොරෝනා වෛරස ආසාදිතයන් 1,200ක් දෙනෙකු හඳුනාගෙන ඇත. පසුගිය සෙනසුරාදා වනවිට ලෙබනනයේ මෙන්ම ඊශ්‍රායලයේදීද නව කොරෝනා වෛරස ආසාදිතයන් හමුවීමත් සමඟ රටවල් සංඛ්‍යාව මෙලෙස 28ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිරිසගෙන් 8 දෙනෙකු මේ දක්වා මිය ගොස් ඇත. එහිදී දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය මෙන්ම ඊජිප්තුව තුළදීද පුද්ගල මරණ වාර්තා වී තිබේ.

"තවදුරටත් අපේ අවධානය යොමු වෙන්නේ මේ නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය දුප්පත් සෞඛ්‍ය පද්ධතියක් සහිත රටවලට ව්‍යාප්තවීම වැළැක්වීම සම්බන්ධයෙනුයි." ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසයි.

එහිදී අප්‍රිකානු රාජ්‍යයන් 13ක් වෙත වැඩි අවධානයක් යොමුව ඇති අතර, ඒ සියල්ලෙන්ම ආසාදිතයන් පසුගිය කාලසීමාවේදී චීනයේ සංචාරය කර පැමිණි අය වීම ඊට මූලිකවම හේතු වී තිබේ. ඒ අනුව ඉදිරි සති කිහිපයේදී මෙම රාජ්‍යයන් වෙත පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 30,000ක් යැවීමටද එම සංවිධානය පියවර ගෙන ඇත. මේ අතර, මෙම  තත්ත්වයට මුහුණදීම සඳහා ඇ.ඩො.මිලියන 675ක මුදල් ආධාරයක් ලබාදෙන ලෙසටද ලෝක සෞඛ්‍ය සංවිධානය පොහොසත් රටවලින් ඉල්ලා තිබේ.

"කොවිඩ්-19 වසංගතයෙන් වැළැකීමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිතයි. එහෙත් අපට තවමත් මේ ගැන බලාපොරොත්තුවක් තිබෙනවා" යනුවෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසා ඇත.

-හසිත විතානගේ-