සුනඛයෙකුට මන්නා පිහිපහරක් වැදී බරපතල තුවාල සහිතව සිටින ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරිණි. එලෙස තුවාල ලැබුයේ කුලියාපිටිය ප්‍රදේශයේ සුනඛයෙකි. දැන් ප්‍රතිකාර ලබා සුවයට පත්ව සිටින මෙම සුනඛයාට අත්වූ ඉරණම ගැන වැඩි විස්තර දැන් එළිව තිබේ.
ගෙවත්තේ සිටින කුකුළන් ඇල්ලීමට පැමිණි සුනඛයකු පලවා හැරීම සඳහා
පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද මන්නා පිහි පහරක් මේ ආකාරයට තුවාල ඇති කර තිබේ. මන්නය සුනඛයාගේ මුහුණේ රැදී හිසට බරපතළ තුවාල සිදුවීමෙන් පසු පැය එකහමාරක පමණ කාලයක සැත්කමක් කර එම සතාගේ ජිවිතය බේරා ගැනීමට වෛදවරුන් සමත් විය. කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති දැඩි කරන මෙම සුනඛයාට  එල්ල කරන ලද මන්නා පිහිය සුනඛයාගේ මුහුණේ හරි මැදින් පතිත වී අගල් තුනක් පමණ ගැඹුරට කිඳා බැස මුහුණේ සිරවී ගොස් තිබූ අතර ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට කුලියාපිටියේ පශු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොතිබූ බැවින් සුනඛයාගේ හිමිකරු එම සතා ප්‍රතිකාර සඳහා කුරුණෑගල නගරයේ පිහිටි පෞද්ගලික සත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන විත් තිබුණි.


එම වෛද්‍ය මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය චරිත් දම්පගේ මහතා පැයක පමණ කාලයක දී කරන ලද සැත්කමකින් පසුව සුනඛයාගේ මුහුණේ සිරවී තිබූ මන්නා පිහිය ගලවා සුනඛයාගේ ජීවිතය බේරාගැනීමට සමත් වී ඇත. එම පිහි ප්‍රහාරයෙන් සුනඛයාගේ හොම්බ පෙදෙසට බරපතළ හානි සිදුවී මොළයට ද තරමක හානියක් සිදුව ඇති බව වෛද්‍ය දම්පගේ මහතා පැවසීය. සැත්කමෙන් පසුව සුනඛයා සිහිය ලබා සිටිය ද මොළයට සිදුව ඇති හානිය හේතුවෙන් එම සතාගේ තත්ත්වය යම් අනතුරුදායක මට්ටමක පවතින බව ද වෛද්‍ය දම්පගේ මහතා සඳහන් කළේය.

-පුෂ්පකුමාර ජයරත්න-