කොට්ටාව හෝකන්දර පාරේ විද්‍යාල හංදිය අසලදී ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක ගැටී වූ අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය
පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ පැලැන්වත්ත මහවත්ත පාරේ අංක  161/5/2 හි පදිංචි මහමරක්කලලාගේ අරුණ කුරේ (38) නමැති එක්දරු පියකු බව පොලිසිය කියයි. මරණකරු ත්‍රිරෝද රථයෙන් මාලබේ දෙස සිට කොට්ටාව  දෙසට එමින් සිටියදී මාර්ගය හරහා පනින ලද සුනඛයකු බේරීමට ත්‍රිරෝද රථය හරවනවාත් සමග විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගැටී පෙරළී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් පසුව ත්‍රිරෝද රථ රියැදුරු හෝමාගම රෝහලට රැගෙන යන අතරතුරදී මෙසේ මියගොස් ඇති බව ද කියයි..

අනතුරින් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව ඇති අතර අනතුරට සම්බන්ධ මෝටර් රථය හා එහි රියැදුරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අතර හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකරන ලද අතර මොට පෘෂ්ඨයක වැදීමෙන් පසු පෙදෙසට වූ බරපතළ හානිය, රුධිර වහනය, කම්පනය මරණයට හේතුව බව සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා ප්‍රකාශ කළේය. හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්. නවසිවායම් මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණ වෛද්‍ය වාර්තාව ලබා දී තිබුණි.

-ප්‍රදීප් කුමාර-