ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය මහනුවර නගරාසන්නව ඉදිකිරීමට තීරණය කර තිබේ. මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කිිරිමේ අරමුණින් මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට
අදාළ මූලික කටයුතු ඊයේ (26දා) ප්‍රවාහන අමාත්‍යාංශයේදී ආරම්භ කෙරිණි.ඒ අනුව මෙම දුම්රිය මාර්ගය මගින් රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැලසේ.  එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝ වන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වා දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා
උපදෙස් දුන්නේය.

මහනුවර ගුඩ්ෂෙඩ් බස්  නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර, ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එකහමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදිකිරීමට යෝජිතය. සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුලුනු මත ඉදිකිරීමට නියමිත අතර, දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහළින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ. ස්පාඤ්ඤයට අයත් සමාගමක් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර, එම නියෝජිත පිරිසක්ද ඊයේ (26දා) පැවැති සාකච්ඡාවට සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය පිළිබඳ පැවැති සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු සහභාගි වූහ.

-නවෝද්‍යා පවනී-