තම වගා බිමට, ගෙවත්තට පැමිණෙන වන අලින් පන්නා දැමීමට සහ වනඅලියා ඇතුළු වන බවට සංඥා දෙන භූත වෙඩිල්ලක් රුපියල් 30ක වැනි සුළු මුදලක් වියදමින් නිෂ්පාදනය කිරීමට ගොවි මහතෙකු සමත්ව  සිටී.
ගල්කිරියාගම, පලාගල, ගෝනදෙණිය ප්‍රදේශයේ පදිංචි ඊ.ආර්.කේ.ගුණසිංහ (74) මහතා විසින් මෙම වෙඩිල්ල නිෂ්පාදනය කර තිබේ.ගුණසිංහ මහතා නිපදවූ මෙම භූත වෙඩිල්ල නිසා වනඅලියා තම වගා බිමට ඇතුළු වීම සිදුවනවාත් සමග එය පත්තුවන අතර, එමෙන්ම එමගින් ගොවියාටද වනඅලි එනතුරු මග බලා නිදි වර්ජිතව සිටීමට අවැසි නොවේ.

වනඅලියා තම වගා භූමියට ඇතුළු වනවාත් සමග භූත වෙඩිල්ල පත්තු වී වනඅලියා දිව යන බවත්, එයින් ගොවියාටද අවදි වන බවත් ගුණසිංහ මහතා පවසයි. මෙය ඕනෑම ගොවි මහතෙකුට නිෂ්පාදනය කර ගැනීමට හැකි බව හෙතෙම පෙන්වාදෙයි. කුඩා ගිනිපෙට්ටි දෙකක්, රතිඤ්ඤා කිහිපයක් හෝ අලි වෙඩිල්ලක්, රබර් පටි කිහිපයක්, පොලිතින් හෝ සොපින් බෑග් කැබැල්ලක්, බයින්ඩින් කම්බි කිහිපයක් මෙම භූත වෙඩිල්ල නිෂ්පාදනය කිරීම සඳහා යන උපකරණ වේ. මෙම භූත වෙඩිල්ල තම වගා බිම වටේ ස්ථාන කිහිපයක රඳවා තැබීමට හැකි බවත්, අලියා තම වගා බිමට ඇතුළු වෙනවාත් සමග කුඩා කම්බිය අලියාගේ ස්පර්ශ වීමත් සමග ස්වංක්‍රියව එල්ලා ඇති භූත වෙඩිල්ල හතරවටේ පත්තු වීම සිදුවෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ගොවීන්ගේ වගා බිම් ආරක්ෂා කරගැනීම සඳහා තම දැනුම නොමිලේ ලබාදීමට හැකි බවත්, එමගින් වනඅලින්ට ජනතාවට කිසිදු හානියකින් තොරව වනඅලියාද පලවා හැරීමට හැකි බවත් ඒ මහතා පැවසීය. වනඅලින් එළවීම සඳහා විශාල මුදලක් රජයේ වියදම් කරමින් අලි වෙඩි යොදා ගන්නා බවත්, මෙම භූත වෙඩිල්ල සඳහා රජයෙන් මුදල් ඉතිරි වී අලි පැන්නීමට විශාල වෙඩි දැල්වීමට ඇති අවකාශයද මෙයින් මගහැරී යන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

-එස්. කරුණාරත්න-