ලෝක පාපන්දු සමුළුව (ෆීෆ) පසුගිය බ්‍රහස්පතින්දා (20) කළ අලුත්ම ශ්‍රේණිගත (පිරිමි) කිරීම අනුව ශ්‍රී ලංකාව 206 වැනි ස්ථානය දක්වා තවදුරටත් පහළට වැටී තිබේ. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව
රටවල් 210ක සාමාජිකත්වය හෙබි ලෝක පාපන්දු සමුළුවේ මෙතරම් පහළට වැටුණු පළමු අවස්ථාව මෙය වේ. මෙම නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට පහළින් සිටි එර්ත්‍රියාව ශ්‍රී ලංකාව අභිබවා ගොස් 205 වැනි ස්ථානයට පත්ව සිටියි. මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වලට පෙර පසුගිය දෙසැම්බර් 19 වැනිදා අවසන් වරට සිදු කර තිබූ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව පසුවූයේ 205 වැනි ස්ථානයේය. එම ශ්‍රේණිගත කිරිමේ අවස්ථාවේදී ද ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරීම අනුව අවසන් (45) ස්ථානයේ පසුවූයේ එහි පහළටම වැටෙමිනි.

ශ්‍රී ලංකාව අලුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මෙසේ 206 වැනි  ස්ථානයට පත්වෙද්දී  ඔවුන්ට පසුපසින් සිටින්නේ තවත් රාජ්‍යයන් හතරක් පමණි.  ඒ ඇමරිකානු වර්ජිනියා (207),  බ්‍රිතාන්‍ය වර්ජිනියා (208), ශාන්ත  මරිනා (209) හා ඇන්ගියුලා (210) යන  රාජ්‍යයන්ය. එම සියලු රාජ්‍යයන් කුඩා ජනගහනයක් වෙසෙන ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ පාලනයේ පවතින ඉතා කුඩා දූපත් රාජ්‍යයන් වෙති.

මෙම නවතම ලෝක ශ්‍රේණිගත කිරිම අනුව අංක එකට පත්ව සිටින්නේ බෙල්ජියමයි. දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ප්‍රංශයට හා බ්‍රසීලයට හිමිව තිබේ. ප්‍රංශය අවසන් වරට පැවති (2018) ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් රාජයයි. එම ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ රාජයන් අතර ඉහළම ස්ථානය වන 28 වැනි ස්ථානය ජපානයට හිමිව තිබේ. ලෝක පාපන්දු නවතම ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව ලබා තිබෙත 108 වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි. ශ්‍රී ලංකාව නියෝජනය කරන දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් අතර මාලදිවයින 155 වැනි ස්ථානයේ ද, නේපාලය 170 වැනි ස්ථානයේ ද, බංගලාදේශය 187 වැනි ස්ථානයේ ද, භූතානය 189 වැනි ස්ථානයේ ද, පාකිස්ථානය 200වැනි ස්ථානයේ ද, පසුවේ. එහිදී පාකිස්ථානය 201 වැනි ස්ථානයේ සිට ඉහළට පැමිණිමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ තවදුරටත් කඩා වැටීම මෙම නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව හෙළිදරව් වන්නේ වසර 2019 දී ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරග 11කදී කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්  නොවීමෙනි. කෙසේ වුවත් පසුගිය මැයි මාසයේදී ලාඕසය සමග පැවති තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කිරිමට (2-2) ශ්‍රී ලංකාවට හැකි විය. එහෙත් මැකාවෝ රාජ්‍යය සමග පැවති දෙවැනි තරගයේදී නිතරග ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව වසර 2022 කටාර් ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ ආසියානු කලා
ප දෙවැනි වටයට ප්‍රවේශ විය. එසේ වුවත් මෙතෙක්  එහි මුහුණ දුන් සියලු තරග ශ්‍රී ලංකාව පරාජයට පත්ව  සිටින අතර ලබන මාර්තු 26 වැනිදා උතුරු කොරියාවේදී එරටට එරෙහිව තවත් එම වටයේ තරගයකට මුහුණදීමට සූදානම්ව සිටියි.

 මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු කඩ වැටීම සැලකිල්ලට ගනිමින් ලංකා පාපන්දු සම්මේලනය නොබෝදා විදේශීය පුහුණුකරුවකු ශ්‍රී ලංකාවේ සේවයට කැඳවීය. ඔහු බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරු අමිර් ඇලජික් මහතාය. මෙතෙක් වසර දෙකක් පුරා ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ කටයුතු කළ නිශාම් පකීර් අලි මහතා යටතේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රගතියක් අත්කර ගැනීමට  අපොහොසත් වූයේ සහභාගි වූ නිල ජාත්‍යන්තර පාපන්දු තරග 17කදී එක් සුහද තරගයක් පමණක් (බංග්ලාදේශයට එරෙහිව) ජය ගැනීමේනි. එහිදී තරඟ 15ක්ම ශ්‍රි ලංකාව පරාජයට පත්විය.

-නාමල් පතිරගේ-