ජනාධිපති ගෝඨාභය වී අගමැති සජිත් වුවහොත් රනිල් - මෛත්‍රී සටන මෙන් "නයි පොළොන්” සටනක් ඉදිරියටත් දක්නට ලැඛෙනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම වෙත ඊයේ (24දා) ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවුවද ආණ්ඩුවේ "පාට' කුමක් වුවත්, පාස්කු ප්‍රහාරය පිටුපසින් සිටින දේශපාලනඥයන්ට හා බලධාරීන්ට දඬුවම් ලබාදෙන තෙක් තම සටන අත් නොහරින බවද එහිදී පවසා සිටි මන්ත්‍රීවරයා,


“ආණ්ඩුව කොළ පාටද, නිල් පාටද, කුරහන් පාටද, රතු පාටද, කහ පාටද කියන එක අපට අදාළ නෑ, අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ. පාස්කු ප්‍රහාරය පිටුපසින් සිටි දේශපාලකයන්ට හා බලධාරීන්ට දඬුවම් ලැබෙනතුරු අපේ සටන අපි ඉදිරියට ගෙනියනවා, කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.

කිඹුලා බනිසේ කිඹුල්ලු නෑ වගේ, වැලිතලපේ වැලි නෑ වගේ, මාළු බනිසේ මාළු නෑ වගේ සමඟි බලවේගයේ සමඟියත් නෑ, ඒක බෝඩ් ලෑල්ලක් විතරයි. ලෝකයේ තියන ප්‍රජාතන්ත්‍රවාදී නොවනම දේශපාලන පක්‍ෂය තමයි එක්සත් ජාතික පක්‍ෂය. රනිල් මහත්තයා කැමැත්තෙන් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වුණොත් හැරෙන්න  එතුමා ඉන් ඉවත් කරන්න කාටවත් බෑ.

මම මේ වතාවේ අමාත්‍ය ධුරයක් එපා කිවුවේ ජනාධිපතිතුමාගේ අදහස තිබුණේ අන්තර්කාලීන ඇමති මණ්ඩලයේ ඇමති ධුර 10කට සීමා කරන්න, ඒ 10 අතරට එන්න බරපතළ තරඟයක් තියෙනවා දැක්කාම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් සහනයක් වෙන්න මං අමාත්‍ය ධුරයක් භාර නොගන්න තීරණය කළා.

අයවැයක් ගෙනාව නම් පරිපූරකයට වෙච්ච දේම තමයි අයවැයට වෙන්නේ. මොකද පසුගිය කාලයේ එක්සත් ජාතික පක්‍ෂය කිවුවා ජනාධිපති ගෝඨාභය එක්ක හරියටම ගැළපෙන අගමැතිවරයා සජිත් ප්‍රේමදාස කියලා.

දැන් අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයාට බලය ලැබිලා තියෙනකොට ඔහු ජනාධිපතිතුමා ගෙනාපු හොඳ යෝජනාවකට සහාය දුන් නෑ. ඒ කියන්නේ ඔවුන්ගේ ආණ්ඩුව විසින් දරපු වියදම්වල බිල්පත් ගෙවන්නවත් ගෙනාපු යෝජනාවට සහාය දුන්නේ නෑ. ඒ නිසා අර කිවුව විදියට වුණොත් රනිල් - මෛත්‍රී සටන වගේ නයි- පොළොන් සටනක් තමයි ඉදිරියටත් දකින්න ලැබෙන්නේ" යනුවෙන්ද පවසා සිටියේය.

- නිදර්ශනී වික්‍රමසිංහ -