නිවාඩු ලබා නිවසට පැමිණ යළි සේවයට ගිය 23 හැවිරිදි යුද හමුදා යාන්ත්‍රික සෙබළාගේ හිස සුන් මළසිරුර ගම්පොළ නාවලපිටිය දුම්රිය මාර්ගයේ කොස්ගොල්ල පාලම මත තිබියදී ගම්පොළ පොලිසිය මගින් සොයා ගනු ලැබීය. මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පොල කෙසෙල්වත්ත පාරේ වල රාහිම්මලේ ප්‍රදේශයේ පදිංචි
රූපසිංහ ආරච්චිලාගේ තිළිණ සම්පත් නමැති අයයි. මොහු ශ්‍රී ලංකා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව සේවස්ථානයේ සිට මෙසේ නිවාඩු ලබා නිවසට පැමිණ තිබේ. මියගිය අය විවාහ වී මාස 3ක් වන බව පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි. මෙහි ස්ථානීය පරිශ්‍රණය
සඳහා ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා පැමිණ සිටි අතර එහිදී මිය ගිය අයගේ බිරිඳ වන විසි හැවිරිදි ටිනෝකි ගීත්වරා නිවන්දියා යන අය පවසා සිටියේ දවස් 10ක නිවාඩු ලබා 14 වැනි දින නිවසට පැමිණි සැමියා නිවාඩු අවසන්ව නැවත උඩවලව සේවා ස්ථානය වෙත පිටත්ව ගිය බවයි.

රාත්‍රී බසයෙන් පිටත්ව යාමට සූදානම් වූ සැමියාට රාත්‍රී 9 ට පමණ දුරකථන ඇමැතුමක් දුන් පසු බසය පැමිණෙන තුරුම ටවුමේ සිටින බව සඳහන් කළ බව ද පැවසුචාය. අනතුරුව රාත්‍රී 10.30 ට පමණ දුරකථන ඇමතුමක් දුන් පසු තවමත් ටවුමේ සිටින බවත් අද මට හොඳට නිදා ගන්න පුළුවන් යැයි ඔහු සඳහන් කළ බවත් ඇය පැවසුවාය.  අනතුරුව ඔහු 11.45 ට පමණ තමාට දුරකතන ඇමතුමක් දී ‘මැණිකේ ඔයා මොනවද කරන්නේ' කියා විමසන විට කෝච්චියක ශබ්දය ඇසුනු බවත් ඉන් පසු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඇය ප්‍රකාශ කරමින් මරණ පරික්ෂකවරයා හමුවේ දන්වා සිටියේ විවාහ වී මේ කෙටි කාලය තුළ දෙදෙනා අතර කිසිම අඩදබරයක් සිදු නොවුණු බවයි.

මියගිය අයගේ හිස දුම්රිය පිලී අතර රැදී තිබූ අතර සිරුර පාලම මත පහළට එල්ලෙමින් තිබුණි. ගම්පොළ පොලිසියේ ස්ථානීය පරීක්ෂණ කණ්ඩායම (සොකෝ) සමග පොලිසිය පරීක්ෂණ අරඹා තිබූ අතර පශ්චාත් පරික්ෂණ සඳහා සිරුර ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියේය.

-සුරංග රාජනායක-