එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය. මෙවර සැසිවාරය
ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් සැසිවාරයක් වන අතර, ඒ 2015 ඔක්තෝම්බර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කෙරුණු ශ්‍රී  ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ  2019 මාර්තු 40/1' දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට නියමිත හෙයිනි.

එංගලන්තය, ප්‍රංශය හා කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් එක්ව ගෙන ආ මෙම යෝජනාවලියට පසුගිය රජය විසින් සම අනුග්‍රහය දැක්විය. කෙසේ වෙතත් එවකට විපක්ෂයේ සිටි වත්මන් රජය ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල කළේය. එම යෝජනාවලියෙන් ඉවත්වීම සඳහා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගිය බදාදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර යෝජනාවලියේ සම අනුග්‍රහයෙන් ඉවත්වන බවට පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරයට එක්වන ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැරීමට නියමිතය. මෙවර සැසිවාරය මාර්තු මස 20දා තෙක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය විසින් 27දා වාචික කරුණු දැක්වීමට නියමිතය. එම කරුණු සඳහා අමාත්‍ය දිග්නේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රතිචාර දක්වනු ලබන අතර, ඔහු ජිනීවාහි රැදී සිටින කාලය තුළදී මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය හමුවීමටද නියමිතය.

මේ අතර විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අදාළ යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජයගත් තීරණය පිළිබඳව, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනී තානාපති එලිසබෙත් ටිචිෆිල්බර්ගර් මහත්මියව පසුගිය සිකුරාදා දිනයේදී දැනුවත් කිරීමට කටයුතු කළේය. මෙම යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළව ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල සහය ලබාගැනීමටද සිදුවන අතර, මේ වනවිටත් මිත්‍ර රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන බවට ඉඟි පළවේ.කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කරන්නේ යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිර්මට අවස්ථාවක් ඇති බවයි.