ඉකුත් 19 වැනි දින සවස හාලිඇළ බ/ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් සිවුදෙනකු දියේ ගිලී මියයාමේ සිද්ධියට අදාළ අධ්‍යාපන චාරිකාවට එක්වූ එම විදුහලේ ගුරුවරුන් අටදෙනා තවකාලිකව වෙනත් පාසල්වලට අනුයුක්ත
කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.

හාලිඇළ කොට්ඨාස හා බදුල්ල කලාප අධ්‍යාපන බලධාරීන් විසින් අදාළ සිද්ධිය සම්බන්ධව පවත්වන ලද මූලික විමර්ශනයකින් අනතුරුව මෙම අනුයුක්ත කිරීම කර ඇතැයිද මේ වනවිට ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත පත්කෙරුණු කමිටුවකින් හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින්ද පවත්වනු ලබන විමර්ශන අවසන් නිගමනයකට එළඹෙන තුරු බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් මෙම ගුරුවරුන් බදුල්ල කලාපය තුළ විවිධ පාසල් වලට තාවකාලිකව අනුයුක්ත කොට ඇතැයිද පැවැසේ.

මේ සම්බන්ධයෙන් විමසීම පිණිස බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හෝ හාලිඇළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දුරකථන මඟින් සම්බන්ධකරගැනීමට උත්සාහ ගත් නමුත් එම නිලධාරීන්ගේ ජංගම දුරකථන ඇමැතුම් සඳහා ප්‍රතිචාර නොදැක්වීමත් කාර්යාලයීය දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත නොහැකි වීමත් මත එය ව්‍යර්ථ විය. හාලිඇළ බ/ඌව විද්‍යා විද්‍යාලයේ විදුහල්පති සේනක පීරිස් මහතාගෙන් ඒ ළිබඳව විමසීමේදී ඒ මහතා සඳහන්කළේ ඒ සම්බන්ධයෙන් තමන් වෙත ලිඛිත දැනුම්දීමක් කර නොමැති බවයි.

හාලිඇළ ඌව විද්‍යා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ සිසු සිසුවියන් 86 දෙනකු අදාළ ගුරුවරුන් සමඟ ඉකුත් 19දා යෙදුණු අධ්‍යාපන චාරිකාවක් අතරතුර ත්‍රිකුණාමලය”ගෝමරන්කඩවල" මැදවච්චිය වැවේ දිය නෑමට ගිය බව කියන සිසු පිරිසක් අතරින් හාලි ඇළ ඇටම්පිටිය පදිංචි අනුහස් සමාධි, බදුල්ල හිඟුරුගමුව පදිංචි ඉමේෂ් ෂෙහාන්, හාලිඇළ ගලඋඩ පදිංචි නෙතික ගලපිටගෙදර සහ ඇල්ල ගොටුවල පදිංචි තරුෂ අංජන නම් සිසුන් සිවුදෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබිණි.

-රත්න වීරසිංහ-