පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොන්දේසි සහිත ඇප
මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කළේය.

තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද(05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවට නියෝග කළ බව වාර්තා වෙයි.

අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුට විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් මෙම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට දැනුම්දුන් මහාධිකරණ විනිසුරුවරයා සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතුවලට කොන්දේසියක් පනවනු ලැබුවේය.

මෙම නියෝගය පිටපතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවේය.
මෙම ප්‍රහාර සිදුවීම් වලින් පසු  ජූලි මස 02 වන දා අත්අඩංගුවට පත්වූ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉකුත් ජුලි මස 9 වනදා සිට   ඔක්තෝම්බර් මස 09 වනදා දක්වා මාස 3 ක් ඇප මත නිදහස ලබා සිට ඔක්තෝම්බර් මස 09 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. අධ ඔහු නැවත නිදහස ලැබුයේ මාස 4 කට පසුය.