යතුරුපැදි දෙකකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් හොරණ, ඉලිඹ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර, තවත් ත්‍රිරෝද රථ රියදුරෙකුගේ නිවසට හා ත්‍රිරෝද රථයට වෙඩි තබා පලාගොස් ඇති බව හොරණ පොලීසිය පවසයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ ඉලිඹ, කොස්වත්ත පාර පදිංචිව සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු වූ වන්නිගේ හේමන්ත චතුරංග නමැති 32 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

ඉලිඹ, කන්දෙ කඩේ ප්‍රදේශයට පෙරේදා (24දා) රාත්‍රියේ ගොස් තිබූ සන්නද්ධ කණ්ඩායම ඉලිඹ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාලක රැකියාව කරන ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ නිවස ඉදිරියට ගොස් ඔහුගේ නම කියමින් අඬගසා ඇති අතර, එම අවස්ථාවේ නිවසේ සිටි ත්‍රිරෝද රථ රියැදුරුට සැකයක් ඇති වී බිරිඳ සමඟ නිවසින් පිටතට ගොස් සැඟවී පැමිණි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

මද වේලාවක් රැඳී සිටි සන්නද්ධ කල්ලිය නිවසට ත්‍රීරෝද රථයට මෙන්ම ඒ අවට වෙඩිතබා පිටත්ව ගොස් ඇති බවත්, ඊට මද වෙලාවකට පසු ඉලිඹ සිට පැමිණෙමින් සිටි ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රථ රියැදුරුට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථයේ ඉදිරිපස දකුණු දෙසින් එම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර, ඒ සමඟ ත්‍රීරෝද රථ රියැදුරු ත්‍රීරෝද රථයෙන් පිටත මාර්ගයට වැටීමත් සමඟ පාලනයකින් තොර වූ ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අසල පස් කණ්ඩියක ගැටී නතර වී තිබූ බව පොලීසිය සඳහන් කරයි. ඒ ආසන්නයේ පිරිසක් ඔහුව 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත රැගෙන එනවිටත් මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

ඝාතනයට ලක් වූ ත්‍රීරෝද රථ රියැදුරු හා දිවි බේරාගත් ත්‍රීරෝද රථ රියැදුරු කිසිඳු නීතිවිරෝධී ක්‍රියාවන්වලට සම්බන්ධ වූවන් නොවන බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියැදුරුගේ ත්‍රීරෝද රථය අවට මෙන්ම අනෙක් ත්‍රීරෝද රථ රියැදුරුගේ නිවස අසල ටී පනස්හය ගිනිඅවියකින් නිකුත් වූ හිස් උණ්ඩ විස්සකට ආසන්න ප්‍රමාණයක් වැටී තිබූ බව පොලීසිය පවසයි.

මීට මාස කිහිපයකට පෙරදී එම ප්‍රදේශයේ පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්වූ අතර එම පිරිස රිමාන්ඩ් භාරයේ සිටියදී දිවි බේරාගත් ත්‍රිරෝද රථ රියදුරුගේ ජංගම දුරකථනයට පැමිණි බව කියන තර්ජනාත්මක ඇමතුමක් සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශයකින් හෙළි වූ බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

වෙඩි ප්‍රහාරවලින් ඝාතනයට ලක්වූ අය පැදවූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස බඳපෙදෙසටත්, අනෙක් ත්‍රිරෝද රථ රියැදුරුගේ ත්‍රිරෝද රථයේ පිටුපස වීදුරුවටත්, එම රියැදුරුගේ නිවසටත් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

- බිමල් ශ්‍යාමන් -