හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට සංචාරකයන්ට පිවිසීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පස්වරු 2.00න් පසු අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන්ට වනෝද්‍යානය නැරඹීමට ඔහිය හා පට්ටිපොළ යන වනෝද්‍යානයට ඇතුළුවීමේ ප්‍රධාන දොරටුවලින් ප්‍රවේශපත් නිකුත් කරනු ලබනුයේ උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යාන භාරකරු පී.කේ.එම්.පී. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ඇතුළු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන්ට කිලෝමීටර් අටයි මීටර් අටක දුරක් පා ගමනින් යා යුතුව ඇති බවත්, ඒ සඳහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගතවෙන බැවින් එම කාලය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවද ඒ මහතා පවසා සිටියේය.

වනෝද්‍යානයේ වෙසෙන වනසතුන්ට නිදැල්ලේ හැසිරීම පිණිස වනෝද්‍යානය සවස 6.00ට වසා තැබෙන බැවින් පස්වරු 2.00න් පසුව ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබුවහොත් වනෝද්‍යානයට එම වේලාවට ඇතුළුවන සංචාරකයන්ට පස්වරු 6.00ට පිටතට පැමිණීමට අපහසු බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇති බවද ඒ මහතා පැවැසීය.

 -ශාන් හුලංනුගේ-