ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රංශ පුවත් සේවයෙන් ඊයේ (25) ප්‍රකාශයට පත් කෙරිණී.. ටෙහෙරාන් අගනුවර පැවැති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය
අමාත්‍ය  ඉරාජ් හරිර්චි කහිමින් දහඩිය දමමින් සිටින අයුරු දක්නට ලැබුණු අතර ඒ ආසන්නයේ ඉරාන රජයේ ප්‍රකාශක අලි රබෙයි ද විය.  නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ ශුද්ධ නගරයක් වන කුම් නගරයේ 50 දෙනෙකු මරණයට පත්වී ඇතැයි එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉරිදා ප්‍රකාශ කළේය. කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සහ ආසාදනය වූවන් පිළිබඳ තොරතුරු ඉරාන රජයන් සගවන බවට එම මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශවලට පිළිතුරු දීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රජයේ ප්‍රකාශක එලෙස ටෙහෙරාන් අගනුවර දී පෙරේදා (24) එම මාධ්‍ය හමුවේ පැවැත් වූහ. කොරෝනා වයිරසයෙන් 50 දෙනකු මියගොස් ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද එම මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ඉන්පැය කිහිපයකට පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් කළ අතර තමන්ට කොරොනා වයිරසය ආසාදනය වී ඇතැයි හෙතෙම එහි දී කීවේය. එම වීඩියෝ පටය පටිගත කර ඇත්තේ ද  නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

මටත් කොරෝනා වයිරසය වැළඳිලා. මට ඊයේ රාත්‍රියේ උණ තිබුණා. මධ්‍යම රාත්‍රියේම පරික්ෂණයක් කළා. ඒ පරික්ෂණයේ ප්‍රතිඵල අනුව මට කොරොනා ආසාදනය වෙලා. එතැන් පටන් මම ඉන්නේ තනියම. දැන් විනාඩි කිහිපයකට  පසු අවසන් පරික්ෂණ වාර්තාවත් ලැබුණා. මම දැන්ම ප්‍රතිකාර ආරම්භ කරනවා යැයි ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය. මා ඔබට කිව යුතුයි. ඉදිරි සති කිහිපයේදී අපි කොරෝනා වයිසරයට එරෙහිව සටන ජයග්‍රහණය කරනවා යැයි ද හෙතෙම කීය. කොරෝනා වයිරසය මුල් කර ගනිමින් කිසිවකුටත් වෙනස්කම් නොකරන්නැයි එහීදී කී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ඉරානය වැසියන් පරෙස්සම් විය යුතු යැයි ද අනතුරු ඇගවීය.

එමෙන්ම කවුරුන් හෝ ළග සිටගෙන සිටීමෙන් වයිසරය ආසාදනය නොවන බව ද හෙතෙම කීය. සඳුදා පැවැති මාධ්‍ය හමුවෙන් පසුව ඉරාන රජයේ ප්‍රකාශක අලි රබෙයි ඊයේ (25) තවත් මාධ්‍ය හමුවකට එක්ව සිටියේය. එම මාධ්‍ය  හමුවට ඉරානයේ කර්මාන්ත අමාත්‍යවරයා සහ තවත් නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ. කොරෝනා වයිරසය හේතූවෙන් ඉරානයෙන් මරණු 15ක් වාර්තා වන අතර 95 දෙනෙකුට වයිසරය ආසාදනය වී ඇතැයි එරට බලධාරිහු කීහ.