2019 වසරේදී කැනඩාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට යෑමට සචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ සේවකයන්ට ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට
ගෙන ව්‍යාජ ලියකියවිලි සාදා ලක්ෂ 20 බැගින් පුද්ගලයන් 4 දෙනකුගෙන් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන ඊට පරිබාහිර පුද්ගලයන් කිහිප දෙනකු විදේශගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින සංචාරක සංවර්ධන අමාත්‍යංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවිකාව සහ අනෙක් කාන්තාව මාර්තු 3 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග  කළේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.

සිද්ධියේ 1 වැනි සැකකාරිය වන ධනංජනී ජයශාන්ති නමැත්තිය හිටපු සංචාරක සංවර්ධන වනජීවී කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංඟ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවයේ නියුතුව සිට  ඇත.

සිද්ධියට අදාළව වාංචා විමර්ශන කාර්යාංශය මඟින් ජෝන් අමරතුංග මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර සරත් නමැති අදාළ නිලධාරියා වංචා විමර්ශන අංශයට ප්‍රකාශ කර ඇත්තේ ධනංජනී ජයශාන්ති නමැති 1 වැනි සැකකාරිය දුන් ලක්ෂ 4ක මුදලක් ජෝන් අමරතුංග මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී ඔහුගේ අතටම භාරදී ඇති බවය.

ලිපිකාරිනිය කුමන හේතුවක් මත අමාත්‍යවරයාට මුදල් දුන්නේ දැයි තමා නොදන්නා බවද ඔහු වංචා විමර්ශන අංශයට ප්‍රකාශ කර තිබේ.

හිටපු සංචාරක සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටි ලාල් රත්නායක සහ තවත් අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු වූ රහීම් බායි නමැත්තා සිද්ධියට සම්බන්ධ වී ඇති බවද අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය. ඔවුන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව සිටී.

ඒ පිළිබඳව අදහස් දක්වමින් විත්ති පාර්ශවයේ නීතිඥයන් අධිකරණයට සැල කර සිටියේ, අදාළ ලේකම්වරුන්  දෙදෙනා සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන බවත් එසේ වුවද සිද්ධියට අදාළව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වී ඇති බවත්ය.

මෙම සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දීපා ලාලනී සන්නසූරිය  යන අය විසින් 2019. | 07. 11 දින කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන අංශය සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කොට ඇත. සිද්ධියට අදාළ නඩුව මාර්තු මස 3 වැනිදා යළි කැඳවීමට නියමිතය.

-අමිල අබේරත්න-