විත්ති පාර්ශවයට වාසිසහගත තීන්දුවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහටත්
ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරී නමැත්තාටත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 16 බැගින් වන බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ 20 නියම කළේය. විත්තිකරුවන් මෙම ක්‍රියාවෙන් අධිකරණ ක්ෂේත්‍රයට හා පොලිස් ක්ෂේත්‍රයට විශාල කළු පැල්ලම් ඇති කොට ඇති හෙයින් ඔවුන්ට ලිහිල් දඩුවම් දිය නොහැකි බව අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට සිරදඩුවලට අමතරව රුපියල් 20,000/- බැගින් දඩද නියම කළේය.

විත්තිකරුවන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 03 ක මුදල ඔවුන් දෙදෙනාගෙන් වෙන වෙනම දණ්ඩිත ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදල් නොගෙවුවහොත් ඔවුන්ට වසර 06 බැගින් බරපතළ වැඩ සහිත සිරදඩුවම්ද නියම කළේය. මෙම වකවානුවේ වන පොලිස් ක්ෂේත්‍රය මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයද බරපතළ කඩාවැටීමකට ලක්වී ඇති නිසා එම ක්ෂේත්‍ර මෙන්ම සමස්ත සමාජයම අල්ලසින් බේරාගැනීමටත් අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත්කර තැබීමටත් හේතු වන ආකාරයේ දඩුවම් විත්තිකරුවන්ට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඩුවම් නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම ගොනු කර තිබූ චෝදනා හතරට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීන්දුව දෙමින් සඳහන් කළේය. 2013 මැයි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හෝමාගම දිසාවිනිසුරුවරයා ලෙස කටයුතු කරමින් තමන් ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකාරියට වාසිවන තීන්දුවක් ලබාදීම සහ ඇයගෙන් රුපියල් ලක්‍ෂ 3 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම පළමුවැනි විත්තිකරුට එරෙහිව  නඩු පවරා තිබිණි. අධිකරණයේ විභාග කෙරෙන නඩුවක තීන්දුව විත්තිකාරියට වාසිවන අන්දමට කිරීම සඳහා ඇගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ හිටපු දිසා විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ කොස්තාපල්වරයාට එරෙහිව නඩු පවරා තිබිණි.

මෙම නඩුවේ පැමිණිලිකාරිය හංවැල්ල, ඇඹුල්ගම හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇයට එරෙහිව ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් පළමුවැනි විත්තිකරු හමුවේ හෝමාගම දිසා අධිකරණයේ නඩුවක් විභාග කෙරුණු බවත් එහි තීන්දුව ඇයට පක්‍ෂව ලබාදීම සඳහා විත්තිකරුවන් ඇගෙන් අල්ලස් මුදල් ඉල්ලා එම අල්ලස් මුදල් ලබාගැනීම සදහා හංවැල්ල ඇඹුල්ගම හෝටලය අසලට ගොස් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බව නඩු විභාගයේදී හෙළි විය.

මෙම නඩුවේ පැමිණිලිකාරියගේ නිවසට ගියේ වඩුබාස් කෙනකු හමුවීම සඳහා මිස අල්ලස් ලබාගැනීමට නොවන බව විත්තියේ  මූලික තර්කය වූ අතර අධිකරණ විනිසුරුවරයකුවන පළමුවැති විත්තිකරුට වඩුබාස් කෙනකු හමුවීමට අවශ්‍යවී නම් ඔහු තමන්ගේ නිවසට ගෙන්වා ගැනීමට හැකියාව තිබූ බවත් මෙවැනි තනතුරක් දරන අයකු තමන් ඉදිරියේ ඇති නඩුවක විත්තිකාරියකගේ නිවසට යෑම පිළිගත නොහැකි බවත් තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ වරදකාරි හැසිරිම ඔවුන්ගේ දුරකථන භාවිතා අනුවම පැහැදිලි වන බවත් සඳහන් කළේය. නිලධාරින්ගේ බලසම්පන්නකම නිසා අල්ලස් සිද්ධීන් ගැන පැමිණිලි කිරිමට පුරුෂ පක්ෂය කියමිත කාලයක කාන්තාවක වශයෙන් මෙම නඩුවේ පැමිණිලිකාරිය කටයුතු කර ඇති ආකාරය ප්‍රසංශනිය බවද මම මේ සිද්ධිය පිළිබදව පැමිණිලි කිරිමෙන් පසුව ඇයගේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නොහැකි වන අන්දමට බලපෑම් එල්ල වී ඇති බවද මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම  වෙනම විමර්ශනයක් පවා පවතින බවද නඩු විභාගයේදී සඳහන් විය.