කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කඩවත පොලීසියේ කොස්තාපල් රියදුරු ජයන්ත රාජපක්ෂ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් කොස්තාපල් රියැදුරුගේ අනියම් බිරිඳ සහ එම සැකකාරියගේ ඥාති දියණිය අත්අඩංගුවට
ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමත් විය.

කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදී කෲර අන්දමින් ඝාතනය කර ඔහුගේ සිරුර පන්නල, වේරහැර, බුලුගොඩ ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබියදී පසුගිය 21වැනිදා සොයාගෙන තිබූ අතර එම පැහැර ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ටියා සහ සුද්දා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවන් දෙදෙනා සහ එම මළසිරුර සැඟවීමට සහාය දුන් මංජු නමැත්තා පසුගිය 20 වැනිදා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.


සැකකරුවන් විසින් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් ඝාතන කිරීම සඳහා උපයෝගී කර ගත් ත්‍රීවිල් රථය සහ තියුණු ආයුධ දෙකක්, ජංගම දුරකථන කිහිපයක් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර අත්අඩංගුවට පත් බන්ටි නමැත්තා ඝාතනයට ලක්වූ කොස්තාපල්වරයාගේ අනියම් බිරිඳගේ පුතා බවත්, සුද්දා නැමැත්තා අනියම් බිරිඳගේ වැඩිමල් සොහොයුරාගේ පුත්‍රයා බවත් පොලීසිය පවසයි.

අනියම් සම්බන්ධය පැවැත්වූ 47 හැවිරිදි කාන්තාව සමඟ අත්අඩංගුවට පත් 25 හැවිරිදි එක්දරු මව මළසිරුර සැඟවීමට ආධාර අනුබල දුන් මංජු නමැත්තාගේ බිරිඳ බවත් පොලීසිය පවසයි. සැකකරුවන් තිදෙනාම මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (23දා) දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි. සැකකරුවන් තිදෙනා සහ සැකකාරියන් දෙදෙනාව කිරිබත්ගොඩ පොලීසිය මඟින් ඊයේ (23දා) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


ඝාතනයට ලක්වූ ජයන්ත රාජපක්ෂ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 වියේ පසුවූ දෙදරු පියෙකු වන අතර පසුගිය 17 වෙනිදා අලුයම ඔහු පැහැර ගැනීමට ලක්වීමෙන් අනතුරුව සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කැලණිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, කැලණිය සහකාර පොලිස් අධිකාරී චන්දන ලියනගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන්ද සිල්වා සහ එම කොට්ඨාසයේ සැරයන්වරුන් වන ධර්මසිරි, අබේනායක, ජයසුන්දර, කොස්තාපල්වරුන් වන හෙන්නනායක, සහ සරත් යන නිලධාරීන් සමඟ කිරිබත්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. සඳනුවන්, පෑලියගොඩ පොලීසියේ උප.පො.ප. රදලගේ යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

-ටෝනි කරුණානායක-