මහරගම, නාවින්න, ශ්‍රී දේවානන්ද පාරේ ව්‍යාපාරික ස්ථානයක උඩුමහලේ තිබී හමු වූ අඹුසැමි යුවළගේ මරණයට හේතුව හිසට හා ගෙලට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයක් බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී
සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ මහරගම  නාවින්න ශ්‍රී දේවානන්ද පාරේ අංක 5/1/A හි පදිංචි, වාද්දුවගේ දොන් මංජුල (40) හා ජයසිංහ ආරච්චිගේ  සංජීවනී ප්‍රදීපිකා (39) නමැති අඹුසැමි යුවළකි.

සිද්ධිය වාර්තා වීමත් සමග නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහයන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය  සිදුකරන ලෙසට පොලීසියට නියෝග කළ අතර, ඒ අනුව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන වෛද්‍ය එස්. රවීන්ද්‍රන් හා ජනිත් දයානන්ද මහත්වරුන් විසින් පැය  තුනකට ආසන්න කාලයකදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය තියුණු ආයුධයකින් පහරදීමෙන් සිදුකෙරුණු ඝාතනයක් බවට අනාවරණය කරගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය වූ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථාන හතරක සේවකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු 15 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රශ්න කර ඇති බවද පොලීසිය පවසයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය පුද්ගලයාට අයත් සුඛෝපභෝගී නිවසක් උකස් කිරීම හේතුවෙන් කෝටියක මුදලක් ණය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

-ශාන්ත ප්‍රදීප් කුමාර-