මැලේසියානු රජු වන අබ්දුල්ලා රී 'අයාටුදීන් අල් - මුස්ටාෆා විසින් එරට මීළග අන්තර්වාර අගමැතිවරයා තෝරා පත් කරගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ඊයේ ආරම්භ කළ බව එරට මාධ්‍ය පවසයි. ඒ අනුව එරට
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු අතරින් අයෙක් තෝරා ගැනීම සඳහා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.
එරට වත්මන් අගමැති මහතීර්

මොහොමඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පෙරේදා සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව හිස්වන ධුරය සඳහා මෙලෙස නව අගමැතිවරයෙකු පත් කිරීමට කටයුතු යෙදී ඇත. ඒ අනුව මහතීර් මොහොමඩ් හැර අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 221 දෙනා සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට මැලේසියානු රජු පියවර ගෙන ඇත.

ඊයේ දිනයේ පස්වරු 2.30ට ආරම්භ වූ මෙම සම්මුඛ පරීක්ෂණ වාරයේදී රජතුමා විසින් එක් මන්ත්‍රීවරයෙකු වෙත උපරිම විනාඩි දෙක තුනක කාලයක් ලබා දෙනු ඇතැයි පැවසෙයි. ඊයේ දිනය තුළදී පමණක් මේ සඳහා මන්ත්‍රීවරුන් 90 දෙනෙකුට ආරාධනා කෙරී ඇත. අනෙකුත් පිරිස අද දිනයේදී රජතුමා හමුවට පැමිණවීමට නියමිතව ඇත. මෙම සම්මුඛ පරීක්ෂණ අවස්ථාවට සහභාගි විය හැකි එකම පුද්ගලයා වන්නේ මැලේසියානු රජයේ ප්‍රධාන ලේකම් මොහ්ද් සුකි අලි පමණකි.