පසුගිය රජය විසින් ගැසට් නිවේදනයක් මඟින් විවෘත කළ බවට දැනුම් දී ඇති අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට දක්වා කොටස නැවත විවෘත කර වත්මන් ආණ්ඩුව ජනතා මුදල් නාස්ති කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසූයේ ඊයේ (25දා) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ මරික්කාර් මහතා,

"අධිවේගී මාර්ග 2001 සිට 2014 දක්වා අවුරුදු 13ට කොට්ටාව සිට මාතරට කිලෝමීටර් 125යි. කොට්ටාව - කඩවත කිලෝමීටර් 20යි. පෑලියගොඩ - කටුනායක කිලෝ මීටර් 26යි. ඔක්කොම කිලෝමීටර් 171යි. අපේ කාලයේ අවුරුදු 5ක් තුළ කිලෝමීටර් 146ක් හදලා තියෙනවා.

කඩවත සිට මීරිගමට කිලෝමීටර් 37 යි. ප්‍රගතිය 10% යි. මීරිගම සිට කුරුණෑගලට කිලෝමීටර් 40යි. ප්‍රගතිය 80%යි. කඩවත සිට කෙරවලපිටියට කිලෝමීටර් 10ක් හදලා තියෙනවා. මාතර සිට බෙලිඅත්තට කිලෝමීටර් 30යි.

බෙලිඅත්ත සිට වැටිය දක්වා කිලෝමීටර් 26යි. වැටිය සිට අන්දරවැව දක්වා කිලෝමීටර් 15යි. මත්තල සිට හම්බන්තොට කොටස කිලෝමීටර් 25යි. මේක සම්පුර්ණයෙන්ම අපි හදලා ඉවර කළා.

 2019දී දේශපාලනඥයෝ නැතුව රජයේ නිලධාරීන් ගිහිල්ලා විවෘත කරන්න ගියාම පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙකුයි එයාගේ පුතයි මේක නැවැත්තුවා. අපි හදලා, විවෘත කළ බවට ගැසට් කරපු එක තමයි නැවත විවෘත කළේ. මේක ජනතා මුදල් නාස්ති කිරීමක්. මේ ආණ්ඩුවට පුරුදු ඔය වගේ දේවල් කරලා තමයි.” යැයි සඳහන් කළේය.

- නවෝද්‍යා පවනි -