මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (Mcc) ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව ලබාදුන් වාර්තාවට අනුව එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අදාළ සියලු කරුණු එම වාර්තාවේ අඩංගු වී ඇති බව වාර්තා වේ.
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ්
කෝපරේෂන් ආයතනයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කිරීම උදෙසා මෙම කමිටුව පත්කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව පත්කළ අතර, එහි මූලික වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාර දුන්නේය. එම්.සී.සී ගිවිසුමෙහි ඇති වගන්ති සම්බන්ධයෙන් මෙම කමිටුව පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් සකසා ඇති අතර, එම ගිවිසුමේ ඇති වාසි සහ අවාසි සියල්ල මූලික වාර්තාව තුළට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

මේ හේතුවෙන් එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුවට හැකියාව ඇති අතර, මෙම වාර්තාව ලැබෙන තුරු එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමද ආණ්ඩුව කල්දැම්මේය.

කෙසේ වෙතත් මෙම කමිටුව ලබාදුන් වාර්තාවට අනුව එම්.සී.සී ගිවිසුමේ වාසිවලට වඩා අවාසි විශාල ප්‍රමාණයක් ඇති බව කමිටුවේ මතය වී ඇති බවද රජයේ පාර්ශවය මඟින් දැනගැනීමට ලැබුණි.

මේ සම්බන්ධයෙන් එම කමිටුවේ සභාපති ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම පැවසූයේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් පැවසිය නොහැකි බවයි.

අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාරදුන් බව පමණක් තමන්ට පැවසිය හැකි බවත්, එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් වන වාර්තාව ප්‍රසිද්ධ කිරීමට රජය තීරණය කර ප්‍රසිද්ධ කළහොත් පමණක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අතර, එසේ නොකරන්නේ නම් කිසිඳු තොරතුරක් පැවසිය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ මෙම කමිටුවට ලබන අප්‍රේල් මාසය දක්වා කාලය ලබාදී ඇති අතර, ඒ වනවිට තවත් වාර්තාවක් ලබාදීමට කමිටුව සුදානමින් සිටී.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදලක් හිමිවීමට නියමිත යැයි පැවැති රජය ප්‍රකාශ කළ අතර, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇති ප්‍රධාන බාධක ලෙස පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා හඳුනා ගනිමින් ඒ සඳහා ව්‍යාපෘතීන් කිහිපයක් යෝජනා කර තිබේ.

මෙහිදී කොළඹ අවට රථවාහන කළමනාකරණය, දිවයින පුරා නව මාර්ග නිර්මාණය, සංවර්ධනය සහ මුළු දිවයින ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු සිදුකිරීමට නියමිතය. සමස්ත ප්‍රදානයෙන් ප්‍රවාහන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් වෙන් කෙරෙන අතර, ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 67ක් වෙන් කෙරේ.

ඒ අනුව විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයක් පිහිටුවා දැනට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල තිබෙන සියලු ඔප්පු විද්‍යුත් ක්‍රමයට සුරක්ෂිත කර ඒ සඳහා නීතිමය පිළිගැනීමක් ලබාදීමටද නියමිතය.

වත්මන් රජය බලයට පත් වුවහොත් එම්. සී.සී ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉවත්වන බව පසුගිය මැතිවරණ සමයේදී ප්‍රකාශ කෙරුණු අතර, එම්.සී.සී. ගිවිසුම ජනතාවට ප්‍රසිද්ධ කළ යුතු බවද ප්‍රකාශ කෙරිණි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අධ්‍යයනය සඳහා පත්කළ විද්වත් කමිටුව 2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිවු පුද්ගල කමිටුවක් ලෙස පත් කෙරිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මෙම කමිටුවේ සභාපතිත්වය දරන අතර, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

-චාමර සම්පත්-