පොළොන්නරුව-හබරණ මාර්ගයේ 39 වැනි කිලෝ මීටර් කණුව අසලදී ඊයේ (23) දහවල් පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ රිය  අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් මව සහ පුතා මිය ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ
අනුරාධපුර නාගසේන මාවත, මයිලගස් හන්දිය පදිංචි 53 හැවිරිදි පුණ්‍යකාන්ති දිසානායක සහ 25 හැවිරිදි  කිසල් මනෝජය තෙන්නකෝන් යන මව සහ පුතා යැයි පොලිසිය කියයි. මියගිය කාන්තාවගේ සැමියා මෙම මෝටර් රථයේ  ගමන් කොට ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඔහු  හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිඳුර ප්‍රතිකාර සඳහා  පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත.


මියගිය පුණ්‍යකාන්ති දිසානායක මහත්මිය අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ ගුරුවරියක ලෙස සේවය කළ අතර ඇයගේ සැමියා වන ජයම්පති තෙන්නකෝන් මහතා අනුරාධපුර මහ නගර සභාවේ වැඩ අධිකාරීවරයකු ලෙස සේවයට කරන බව පොලිසිය කියයි. තුවාල ලැබූ ජයම්පති මහතාගේ ගම් පළාත වන පොළොන්නරුව බලා ගොස් යළි අනුරාධපුරයේ තම නිවෙස බලා ගමන් කරමින් සිටියදී මොවුන් තිදෙනා මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි. මෝටර් රථය පදවා ඇත්තේ මියගිය පුතා බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. මෝටර් රථය සමඟ ගැටී ඇති පෞද්ගලික බස් රථය චාරිකාවක යන පිරිසක් රැගෙන පොළොන්නරුව දෙසට ගමන් කොට ඇතැයි  පොලිසිය කියයි. මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.