නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක පවත්වාගෙන ගිය පුද්ගලික ආපන ශාලාවක් අනවසර ඉදිකිරීමක්ය යි දක්වමින් කිරීමට නුවරඑළිය එම අධිකාරියේ නිලධාරීන් පසුගිය 21දා කටයුතු කරමින් සිටිය දී එහි පැමිණි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා නිලධාරීන් සමග වාද කළ අතර උණුසුම්කාරි තත්ත්වයක්  ඇතිවිය.

එම ආපන ශාලාව ඉවත් කිරීමට නොදෙන බවත් නීතිය අනුව උසාවි නියෝගයක් ගෙන පැමිනෙන ලෙසත් ඔහු ඉල්ලා සිටි අතර බලහත්කාරයෙන් ඉවත්කිරීම කළහොත් එහි බිම නිදා ගන්නා බවත් පොලීසියට පැමිණ තමන් ඉවත් කරන්නට සිදු වන බවත් පවසමින් නවීන් දිසානායක මහතා මෙහිදී දැඩි අවේගශීලීව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ බහින් බස් වීමක නිරත විය.

මෙම ආපාන ශාලාව ඉවත් කිරීමට අධිකාරියට බලය තිබෙන බවත්, තමන් සිදු කරන්නේ රාජකාරී කටයුත්තක් බවත්, ඒ සඳහා ඉඩ ලබාදෙන ලෙසත් මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මන්ත්‍රීවරයා දැනුවත් කිරීමට කටයුතු කළ ද ඔහු දිගින් දිගටම වාද කළේය.

ආපන ශාලාව ඉවත් කරන්න ඕනෑ නම් නීතිය ඔබතුමාගේ පැත්තේ නම් උසාවි නියෝගයක් අරගෙන එන්න යැයි මෙහිදී දැඩි ආවේගයෙන් යුතුව මන්ත්‍රීවරයා එම නිලධාරීන්ට පැවසූ අතර, නිලධාරීන් පැවසුවේ එසේ කරන්න අධිකාරියට බලය තිබෙන බවයි.

මෙම සිද්ධියෙන් පසුව ආපන ශාලාව ගලවා ඉවත් කිරීමට පැය 48ක කාලයක් ලබා දී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිටව ගිය අතර නවීන් දිසානායක මහතා එම ස්ථානයට පැමිණියේ තමාගේ දැනුම් දීමකින් නොවන බව ආපන ශාලාවේ හිමිකරු මාධය වෙත පවසා තිබේ.

මෙම සිද්ධියේදී නවීන් දිසානායක මහතා කෝපාන්විතව කථාකළත් අදහස් පළ කළේ ශීලාචාර ආකාරයටය. ඔහු කළ සංවාදය හා පසුගියදා සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා හා දේවානි ජයතිලක රාජ්‍ය නිලධාරිනිය අතර සංවාද සසදමින් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ අදහස් සංසරණය වේ.