පුටන්ගේ ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රධාන මාර්ගයක වැටී සිටි කුඩා නීලකොබෙයි පැටියකු තම දරුවකු මෙන් හදාවඩා ගන්නා කාන්තාවකට නීලකොබෙයියාව ශ්‍රී පාද වන්දනාවේ රැගෙන ආ අයුරු පෙරේදා (22) දින
කැමරාවේ සටහන් විය.  ඇය නමින් අජන්තා ගමගේ මහත්මියයි. කටුනායක ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇය ඉකුත් 21 වැනි දා පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටි අතර අජන්තා ගමගේ මහත්මියගේ උරහිස මත නීලකොබෙයියකු කිසිදු බියක් සැකක් නොමැතිව සිටින අයුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බොහෝ දෙනකුගේ අවධානයට යොමු විය.


ඒ පිළිබඳව අප අජන්තා ගමගේ මහත්මියගෙන් විමසීමක් සිදු කළ අවස්ථාවේ ඇය කියා සිටියේ මීට මාස 8කට පමණ ප්‍රථම නීලකොබෙයියාට කපුටන් විසින් කොටා තුවාල සිදු කිරීම නිසා නීලකොබෙයියා වාහනයක් මත වැටී සිටි බවයි. ඉන් අනතුරුව පශු වෛද්‍යවරයකු මගින්  නීලකොබෙයියාට ප්‍රතිකාර ලබා දී සුව වීමෙන් පසු  නීලකොබෙයියා මුදාහැරිය ද එම සතා තමන්ව හෝ පවුලේ සාමාජිකයන්ව අතහැර නොයා නිවසේම රැඳී සිටින බවයි.තමන් පවුලේ සමාජිකයන් ගමන් බිමන් යන සෑම අවස්ථාවකම නීලකොබෙයියා ද තමන් සමග පැමිණෙන බවත් මීට ප්‍රථම නුවරඑළිය සහ මාතලේ වැනි ප්‍රදේශවල ද නීලකොබෙයියා රැගෙන  ගිය බවයි.

තමත් ආහාරයට ගන්නා සැම දෙයක්ම නීලකොබෙයියා ද ආහාරයට  ගන්නා බවත් විශේෂයෙන් තක්කාලි කෑමට නීලකොබෙයියා වැඩි රුචිකත්වයක් දක්වන බවත් තමන් මෙන්නම තම පවුලේ සාමාජිකයන් ද  නීලකොබෙයියාට දැඩි ආදරයක් කරුණාවක් දක්වන‍ෙ බවත් නීලකොබෙයියාට වඩා වෙනත් පවුලේ සාමාජිකයකුට ළෙන්ගතුකමක් දක්වන විට නීලකොබෙයියාට තරහ යන බවත් ඇය කීවාය. ජීවිත විනාශ කිරීමට හෝ  හිරිහැර කිරීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත්  නීලකොබෙයියා මිය යන තෙක්ම හොඳින් රැක බලා ගැනීම තම අපේක්ෂාව බවත් ඇය කීවාය.

-රංජිත් රාජපක්ෂ-