නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරියෙන් බදු පදනම මත වසර 02ක් පමණ පවත්වාගෙන ගිය ජංගම ආපන ශාලාවක් බදු කාලය අවසන්වීම නිසා ගලවා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ අනවසර ඉදිකිරීම්
අංශය ඊයේ (25) සවස කටයුතු කය.  බදු කාලය අවසන් වීම නිසා නාගරික සංවර්ධන අධිකාරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමේ අංශය ඉකුත් 21 වන දින ආපනශාලාව ඉවත් කිරීමට යෑමේ දී ඇති වූ සිද්ධිය මත ඉදිරි පැය 48ක් ඇතුළත අදාළ ඉවත් කිරීම් සියල්ලම ඉවත් කර ගැනීමට දෙපාර්ශ්ව ය එකගතාවයට පත්විය.

ඒ අනුව ඉවත් කිරිමේ කටයුතු අදාළ ව්‍යපාරික මහතා විසින් කරමින් සිටි අතර 2020/02/25 වන දින පස්වරුවේ එම ස්ථානයේ ඉතිරි ඉදිරිකිරිම් සියල්ලම ඉවත් කිරිම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක (බලාත්මක) එල්. බී. රංජිත් මහතා ප්‍රධාන නිලධාරීහු පිරිසක් එම ස්ථානයට එක්ව සිටියහ. නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.බි.ටී. සුගතපාල මහතා විසින් කැරළි මර්දන ඒකකය ඇතුළු පොලිස් නිලධාරීන් 100ක් පමණ එම ස්ථානයට එක්ව සිටිනු දක්නට ලැබිණ. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් ජංගම ආපනශාලාව ඉදිරිපිට ඇති ආවරණයන් ඉවත් කිරීමට යෑමේදී එම ස්ථානයට පැමිණි ව්‍යාපාරික මහතාගේ නීතිඥයකු මෙම ඉවත්කිරීමට එරෙහිව නුවරඑළිය මහාධිකරණයේ පැමිණිල්ලක් ගොනුකර ඇති බව සඳහන් කළද ඒ සම්බන්ධව පොලිසිය මැදිහත්වීමෙන්  අධිකරණයෙන් කරුණු විමසීමේදී එවැනි පැමිණිල්ලක් හෝ නඩු නිමිත්තක් ලේඛනගත කර නොමැති බව අනාවරණය කරගෙන ඇත.

එම අවස්ථාවේදී බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් අවන්හල ඉදිරිපිට ආවරණයක් ඉවත් කිරීම කළ අතර අවන්හලේ හිමිකරු වන දර්ශන සමරසිංහ මහතා එම කඩා ඉවත් කිරීම නතර කරන ලෙසත් තමා එම ඉවත් කිරිම සිදු කරගන්නා බවට දැනුම් දී ව්‍යාපාරික මහතාගේ හිතවතුන් පිරිසක් අදාළ ආවරණ සියල්ලම ඉවත් කිරිමට කටයුතු සිදු කරන ලැබුහ.

2020/02/25 පස්වරුව දක්වාම එම අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරිමට කටයුතු සිදුකරන අයුරු දක්නට ලැබිණ. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් ද එම අවස්ථාවේදී සිටිනු දක්නට ලැබුණු අතර
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.බී.ටී.  සුගතපාල මහතා, සහකාර පොලිස් අධිකාරි (1) ධර්මදාස මහතා, නුවරඑළිය පොලිස් මූලස්ථාන පොලිස් පරික්ෂක චන්දන විජෙසේකර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරින් රැඳී සිටින දක්නට ලැබුණි.


-රංජිත් රාජපක්ෂ-