කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග පාසල් වසා දැමීමට පාකිස්තාන සහ ජපාන බලධාරිහු
ඊයේ (27) පියවර ගත්හ.
චිනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 40කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ. ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දැමීමටත් ඉරානය සමග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමත් පාකිස්තාන බලධාරිහු ඊයේ පියවර ගත්හ. කොරෝනා වයිරසය වේගයෙන් ඉරානය තුළ ව්‍යාප්ත වීම නිසා ඉරානය සමග තිබෙන දේශසීමා වසා දැමීමට ද පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඉකුත් දා පියවර ගත්තේය. ඉරානයෙන් පැමිණෙන සියලු දෙනා පරික්ෂාවට ලක් කරන බවද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගෙන ඇති ඇෆ්ගනිස්තානය ද ඊයේ නිවේදනය කළේය.

මේ අතර නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමග රට පුරා තිබෙන සියලු රජයේ පාසල් වසා දමන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඊයේ (27) ප්‍රකාශ කළේය. රටවල් 45කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබෙන කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණක් ලෙස එම පියවර ගෙන තිබේ.  “දරුවන් සහ අනෙකුත් සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සලකා බලා පාසල් වසා දැමීමට ආණ්ඩුව එම තීරණය ගත්තා" යැයි ජපාන අග්‍රාමාත්‍යවරයා කීවේය.  “ඒ නිසා ප්‍රාථමික, කනිෂ්ඨ ඉහළ සහ උසස් පාසල් සියල්ල වසා දමන්නැයි අපි ඉල්ලීමක් කරනවා. මාර්තු 2 වැනිදා සිට වසන්ත කාලයේ නිවාඩුව තෙක් පාසල් තාවකාලිකව වසා දමන්න" යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.