විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරන්නේ විදුලිබල මණ්ඩලයට අයත් පෞද්ගලික වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් සමාගමෙන් බවත්
ඒ අනුව අමාත්‍යවරයා සිටින්නේ එම LTL සමාගමේ සාක්කුවේ බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා පවසයි.

“ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනය කියන්නෙ විදුලිබල මණ්ඩලයට අනුයුක්ත පෞද්යගලික ආයතනයක්. විදුලිබල මණ්ඩලය බිලියන ගණන් පාඩු වෙනකොට පෞද්යගලික ආයතනයක් වෙච්ච එල්ටීඑල් එක ලාබ ලබනවා. එතකොට එල්ටීඑල් එකේ ලාබය විදුලිබල මණ්ඩලයට සහ භාණ්ඩාගාරයට දෙන්න ඕනෙ. නමුත් කරන්නෙ මෙතෙක් බලයට පත්වෙච්චි හැම විදුලිබල ඇමතිවරයෙක්ම පාලනය කළේ, විදුලිබල ඇමතිවරයාගේ විදයම් දැරුවේ එල්ටීඑල් ආයතනය. ඒ නිසා මීට කලින් හිටපු සෑම විදුලිබල ඇමතිවරයෙක්ම එල්ටීඑල් එකේ සාක්කුවෙ තමා අවසානෙට නතර වුණේ.

වර්තමානයේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාත් එල්ටීඑල් එකේ සාක්කුවෙ තමා ඉන්නෙ. එල්ටීඑල් ආයතනය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට වියදම් කරන මුදල් ප්‍රතිපූර්ණය කරගන්නෙ මේ රටේ ජනතාවගෙන්. ඇමතිවරයා සාක්කුවෙ ඉන්නවා. ඒනිසා එල්ටීඑල් ආයතනයේ වංචා, දූෂණ, නාස්තිය ගැන කතා කරනකොට ඇමතිතුමාට කේන්ති යන එක හරි. මොකද ඇමතිතුමා ඉන්නෙ එල්ටීඑල් එකේ සාක්කුවෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ගාමිණී රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (25) කෑගල්ල නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.