පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා මෙගාවොට් 128ක විදුලිය ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් කඩිනමින් මිලදී ගැනීමටවිදුලිබල හා බලශක්ති
අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා විදුබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි. පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය ධාරිතාව තවදුරටත් අඩුවන්නේ නම් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා විදුලිය විසන්ධි කිරීමක් සිදුවනු ඇතැයිද එසේ නොවීමට නම් මෙගාවොට් 128ක අවිනිශ්චිත විදුලිබිල ප්‍රමාණයක් ඉතා ඉක්මණින්ම මිලදී ගත යුතුව ඇතැයිද විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

විදුලිබල මණ්ඩලයේ එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඇමැති අමරවීර මහතා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.  ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ද ශීඝ්‍රයෙන්  අඩුවීම හමුවේ විදුලිය සඳහා නිකුත් කෙරෙන ජල ප්‍රමාණය ද ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මගින් සීමා කර තිබේ. මේ අතර දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය  ඉල්ලුම ද ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බැවින් විදුලිබල මණ්ඩලය  ද දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. ජලාශවල ජල ධාරිතාව තවදුරටත් අඩුවීමට පෙර මෙම මෙගාවොට් 128 ක විදුලි ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන්නැයි විදුලිබල මණ්ඩලට අමාතාපාංශයෙන් ඉල්ලා ඇත. ඒ අනුව මෙම මෙගාවොට් 128ක විදුලිය ප්‍රමාණය ඉතා ඉත්මනින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

-අජන්ත කුමාර අගලකඩ-