කුරුණෑගල - මීගමුව මාර්ගයේ අලුත් මල්කඩුවාව ප්‍රදේශයේදී ඊයේ උදෑසන වෑන් රථයක ගැටීමෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච්. රම්‍යසිරි මහතා මිය ගොස් ඇතැයි කුරුණෑගල 
පොලිසිය කියයි.  රම්‍යසිරි
මහතා මෙම අනතුරට ගොදුරු වී ඇත්තේ රාජකාරිය සඳහා කොළඹ බලා ඒමට බස් රථයක් එනතුරු තම නිවස අසල බස් නැවතුමේ රැඳී සිටියදීය.

 නාරම්මල සිට කුරුණෑගල බලා ධාවනය වූ වෑන් රථයක් බස්පොළේ සිටි රම්‍යසිරි මහතාගේ ඇගේ ගැටී ඇති අතර බරපතළ තුවාල ලැබූ ඒ මහතා වෑන් රථයේ රියැදුරු විසින්ම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය කියයි. වෑන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර රථය පදවද්දී ඔහුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

57 හැවිරිදි රම්‍යසිරි මහතා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස සේවයට ගොස් වසර දෙකක් ගතවී ඇති අතර කෙටි කලකින් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි බව පැවසේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ ඔහු අලව්ව, නාරම්මල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද කලක් සේවය කළ අතර රජයෙන් ක්‍රියාත්මක කළ සමාජ ආරක්ෂණ විශාම වැටුප් ක්‍රමයට වැඩිම පිරිසක් දායක කරගත් ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද ජනාධිපති සම්මානය හිමිකර ගත්තේත්ය. රම්‍යසිරි මහතා දෙදරු පියෙක් විය ඔහුගේ බිරිඳ කුරුණෑගල නගරයේ පාසලක ගුරුවරියක ලෙස සේවය කරයි.