එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමගි ජනබලවේගය එළිදැක්වීම සහ ඊට සම්බන්ධ පක්‍ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම එළඹෙන 02 වැනිදා උදෑසන 09.30ට නෙළුම් පොකුණ රඟහලේදී සිදුකිරීමට නියමිතය.


එනමුත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්‍ෂයේ පළාත් පාලන ආයතන සහ හිටපු පළාත් සභා නියෝජිතයන් එදින එම වේලාවට සිරිකොතට කැඳවා ඇතැයිද වාර්තා වේ.


සමගි ජනබලවේගය එළිදැක්වීමට අදාළ උත්සවය සඳහා එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් විසින් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇති අතර, හෙතෙම එම ආරාධනය පිළිගෙන ඇති බවද වාර්ත වේ.

ඒ අනුව මෙම ආරාධනය සිදුකළ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජනබලවේගයේ ලකුණ සහ ව්‍යවස්ථාව පිළිබඳ විමසා ඇති අතර, එහිදී මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ එම කටයුතු සියල්ල නිසි පරිදි සකස් කරමින් පවතින බවයි. කෙසේවුවද අදාළ ලකුණ සහ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී
මණ්ඩලය විසින් අනුමත විය යුතු වන බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇත.

ඒ අනුව එය එසේ නොවන්නේ නම්, 02වැනිදා පැවැත්වීමට නියමිත සමගි ජනබලවේගය එළිදැක්වීමේ රැස්වීම නීතිවිරෝධී එකක් වනු ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා විසින් මන්ත්‍රීවරුන්ට පෙන්වාදී තිබේ. සමගි ජනබලවේගයේ අනාගත දැක්ම පිළිබඳ වූ ලියවිල්ලක් එළඹෙන 02 වැනිදා පැවැත්වෙන උත්සවයේදී ඉදිරිපත් කිරීමට අදාළ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද වාර්තා වේ.


මේ අතර එළඹෙන මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවට වූ ප්‍රකාශය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසාදයක් දක්වා නොමැති බවටද තොරතුරු අනාවරණය වේ. එසේම මැතිවරණය සඳහා තමන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවට සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය මේ වනතෙක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.

මේ අතර, ඊයේ රාත්‍රී වාර්තා වූයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද (28දා) පැවැත්වීම කෙරෙහිද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධානය යොමු කර ඇති බවයි.

-නිදර්ශනී වික්‍රමසිංහ-