එක්සත් ජාතික පක්‍ෂය තුළ ඩීල් දමන පුද්ගලයන් හත්දෙනෙකු සිටින බවත්, ඒ හේතුවෙන් පසුගිය රජය පැවැති සමයේ හොරුන්ට දඬුවම් ලබාදීමට නොහැකි වූ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

මෙවැනි පුද්ගලයන් හට නව සන්ධානයෙන් නාමයෝජනා ලබා නොදීමට කටයුතු කරන ලෙස තමා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන බවද ඒ මහත්මිය පවසා සිටියාය.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,

"එක්සත් ජාතික පක්‍ෂය තුළ ඩීල් දමන ප්‍රබල පුද්ගලයන් හත්දෙනෙකු ඉන්නවා. ඔවුන් නිසා තමයි අපට පහුගිය කාලේ හොරු අල්ලන්න බැරි වුණේ. අපි දැක්කා සමහරක් චෝදනා තියෙන කට්ටියගේ ගෙවල්වලට ගිහිල්ලා සී.අයි.ඩී. (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තු) නිලධාරීන් කටඋත්තර ගන්නවා. අපිත් යනවා කටඋත්තර දෙන්න සී.අයි.ඩී එකට. සමහරු වර්තමාන අගමැතිගේ ලේකම්වරු ඒ දවස්වල ඔවුන්ගේ ගෙවල්වල සඟවගෙන සිටියා. ඒක තමයි අපට මෙහෙම වුණේ” යැයිද පැවසුවාය.

මේ අතර රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරියගෙන් අදහස් විමසා සිටි අතර, ඒ මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙලෙස පිළිතුරු ලබා දුන්නාය.

"ඔහුට ඇප ලැබුණ එක ගැන අපි පක්‍ෂයක් විදියට සතුටු වෙන්න ඕන. ඒ වගේම ඔහුට සතුටු ඇති. ඉතින් හොඳයි ඔහු එළියට ආපු එක. ඉස්සරහට ගොඩක් හඬපට එළියට එයි.”

-දිනේෂ් සමරකෝන්-