ලංකා සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන මුදල් වංචාවකට අදාළ ලිපි ලේඛන තොගයක් නිවසක තිබී සොයාගත් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන කිදෙල් මොහොමඩ්
අයේෂා මහත්මියගෙන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූව ඒ මහත්මියගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් දෙවැනි අවස්ථාව මෙය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (26) දිනයේ දී ද ඇයගෙන් පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඇය ඊයේ (27) පෙරවරු 10.30ට පමණ එහි පෙනී සිටි අතර මෙම ප්‍රශ්න කිරිම පස්වරු 3.00 දක්වා පැවැත්විණි. ලංකා සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන මුදල් වංචාවකට අදාල ලිපි ලේඛන තොගයක් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳට අයත් කොළඹ 6 කෙලෙන්කඩුව පටුමගේ නිවසක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවේ විශේෂ කණ්ඩායමක් විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබිණි.  එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුව පවසයි.

-ඉන්දිකා රාමනායක-