වගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ මාස හයක කුඩා දරුවකු නිවසේ මේසයක් මතින් පහළට වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලබා පෙරේදා (26) සවස නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු
මරණයට පත්වී ඇතැයි නවගත්තේගම පොලිසිය කියයි. මෙසේ මරණයට පත්වී ඇත්තේ මාස හයක්  වයසැති දනුජ දහම්ස නමැති දරුවෙකි. ඔහු සිව්  දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා බව පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ දරුවගේ මව නිවසේ  සිට නැති බවත් ඒ වන විට දරුවන්ගේ මිත්තනිය භාරයේ දරුවන් රැදී සිට ඇති බවත් පොලිස් පරික්ෂණ වලදී සනාථ වී තිබේ. මරණයට පත් දරුවාගේ පියා කටුනායක ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවද කියයි.


කුඩා දරුවන් හා මවත් මිත්තනියත් කුඩා කටු මැටි ගැසු නිවසක දිවි ගෙවන අතර දරුවන්ගේ මව පාපිසි සැකසීමට යොදා ගන්නා මේසය මත දරුවන් සිව් දෙනාම රැඳී සිට ඇති බව කියති. අනෙක් දරුවන් මේසය මත වූ දරුවා සුරතල් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව කරඹෑපත්තුව හදිසි මරණ පරික්ෂක ඊ.එම්. තිලකරත්න මහතා මරණ පරික්ෂණය පැවැත් වූ අතර මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දරුවාගේ දේහය පුත්තලම මූලික  රෝහලේ අධිකරණ මෙවද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණි. නවගත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන අරඹා තිබේ.


-හිරාන් ප්‍රියංකර-