ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනය යටතේ මේ වන විට විශේෂ විගණන වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබියදී මූල්‍ය ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් තවත්
විශේෂ විගණන වාර්තාවක් පාර්ලිමේන්ත වෙත ඉදිරිපත් කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා කෝප් කමිටුවට (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) දැන්වීය.

විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා (20දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තුවේ පැවති කෝප් කමිටු රැස්වීමේදීය. එහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලානය වැනි ගනුදෙනු කිහිපයක් පිළිබඳ ඉදිරි විශේෂ විගණනයෙන් පාර්ලිමේන්තුව වෙත කරුණු වාර්තා කරන බවයි.


විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේ වනවිට නිශ්චිත කාරණා 05කට අදාළව සිදුකෙරුණු මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදු කර එහි වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 13 වගන්තිය ප්‍රකාරව මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබිණි.

එහි දෙවැනි පරිච්ඡේදය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු පරීක්ෂාවද,

තෙවැනි පරිච්ඡේදය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශය, ගුවන්විදුලි ප්‍රචාරය, (රැහැන් රහිත) හා අන්තර්ජාල විකාශනය සහ අනුග්‍රාහකත්ව ආදී අයිතීන් (International TV Broadcast, Radio Internet, Mobile and Sponsorship Rights) අලෙවි කිරීමට අදාළ ගිවිසුම්ගත වීම, ආදායම් එකතු කිරීම සහ ඊට අනුශාංගික කරුණු පරීක්ෂාවද,


සිව්වැනි පරිච්ඡේදය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා ජාතික ප්‍රධාන පුහුණුකරුවෙකු බඳවාගැනීම පිළිබඳව කරුණු පරීක්ෂාවද,

පස්වැනි පරිච්ජේදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පිළිබඳ දේශීය ගුවන්විදුලි විකාශන අයිතිය අලෙවි කිරීම පිළිබඳ කරුණු පරීක්ෂාවද,

හයවැනි පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුණ්‍යාධාර හස්තය ලෙස 'Cricket Aid (Guarantee) Ltd නමින් ඇපයෙන් සීමිත සමාගමක් පිහිටුවීමට අදාළ කටයුතු පිළිබඳ කරුණු පරීක්ෂාවද සිදු කර තිබිණි.
- පැතුම් ශ්‍රී විජේරත්න -