ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකුගේ දහසය හැවිරිදි දරුවකු මහ බැංකු ගොඩනැඟිල්ලේ දහසය වැනි මහලේ සිට බිමට වැටී ඉතා අවාසනාවන්ත ලෙස ඊයේ (25දා) දහවල් මරුමුවට පත්විය.මෙම දරුවා කිසියම් මානසික ආතතියකින් පෙළුණු දරුවකු බවට
තොරතුරු අනාවරණය වී ඇත.මෙම දරුවා පෞද්ගලික පාසලක ඉගෙනුම ලබමින් සිටින අතර දහසය වැනි මහලේ සිට බිමට වැටුණු ඔහුගේ සිරුරට දැඩි සේ හානි සිදුවී තිබූ බවද පොලිසිය සඳහන් කළේය.


කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැඟිල්ලේ සිට අඩි ‍ෙදාළහක් පමණ දුරකට සිරුර විසිවී තිබූ අතර එම සිරුරේ කොටස් ජනාධිපති මාවතේ වැටී තිබෙන අයුරු දක්නට ලැබිණි.

මෙම දරුවා මහ බැංකු ගොඩනැඟිලේ ඉහළම මහළට ගොස් බිමට පැන්නාද නොඑසේ නම් බිමට වැටුණාද යන්න පිළිබඳව සැකයක්ද මතු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාලඹේ, කහන්තොට, වෙහෙරගල පෙදෙසේ අංක 222/7 දරන නිවෙසේ පදිංචිව සිටි නිදුක් කුඩාගමගේ (16) නමැති දරුවෙකි.මෙම දරුවා ඊයේ (25දා) පෙරවරු 11.30ට පමණ මහ බැංකුවට පැමිණ පියා මුණ ගැසීමට තුන්වැනි කුලුනෙහි පිහිටි 15 වැනි මහලට ගොස් තිබේ. පාසල් නිම වූ පසු දරුවා ඇතැම් දිනවල පියා සේවය කරන කාර්යාලයට ගොස් එහි රැඳී සිටින බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මෙම දරුවා පෙ.ව. 11.30ට පමණ පියාගේ කාර්යාලයට පැමිණ පියා සමඟ පැය භාගයක් පමණ කතාබහ කරමින් එහි කල්ගත කර ඇත.පසුව සවස 2.00ට පමණ පියා සාකච්ඡාවකට සහභාගි වීමට ගොස් තිබේ. 15 වැනි මහලේ ඇති හදිසි පිටවීමේ ‍ෙදාරටුව හරහා දරුවා මහ බැංකු ගොඩනැඟිල්ලේ ඉහළම මහල වන 16 වැනි තට්ටුවට නැඟ තිබේ.

සාමාන්‍යයෙන් මෙම තට්ටුවට නිතර නිතර ගොඩවන්නේ කාර්මික නිලධාරීන් වැනි අය යැයිද හෙළි වී ඇත.කෙසේ වෙතත් සවස 2.45ත් 3.00ත් අතර කාලයේදී දරුවා 16 වැනි තට්ටුවේ සිට පහළට ඇද වැටී ඇත.මහ බැංකුවෙන් රාජකාරි කටයුත්තක් කර ගැනීමට පැමිණි කාන්තාවක විසින් මුලින්ම ලේ විලක් මැද වැටී සිටි දරුවා දැක කෑගසා තිබේ. ඒ අනුව අහල පහළ සිටි පිරිස් පැමිණ දරුවා රෝහලට ගෙන යෑමට උත්සාහ කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.

දරුවා මිය යෑමට පෙර පියාගේ කාර්යාලයේ ඇති පරිගණකයේ ‘Sorry’ කියා සටහනක්ද දමා තිබූ බව පසුව හෙළි වී තිබිණි.

මෙම දරුවා දහසය වැනි මහලට නැඟ දිවැවිත් බිමට පැන්නාද යන සැකයද මතු වී ඇති අතර ඒ පිළිබඳව සෙවීමට තවදුරටත් විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය දරුවාට බාල නැඟණියක්ද සිටින අතර ඇයට වයස අවුරුදු දහයක් පමණ වන බවද පොලිසිය සඳහන් කළේය. මෙම දරුවාගේ මව පෞද්ගලික බැංකුවක නීති නිලධාරිනියක් යැයි අනාවරණය විය.


මියගිය පාසල් දරුවාගේ ජංගම දුරකථනයද හමුවී ඇති අතර දරුවාගේ ෆේස්බුක් හා ඊ-මේල් රහස්‍ය අංක හා පරිගණකයේ රහස් අංකද පියාට කෙටි පණිවුඩ මඟින් දැනුම් දී ඇතැයිද පැවැසේ. මෙකී පරිගණකය හා ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

“උඩ ඉඳන් මොකක්දෝ පහළට වැටෙනවා මම දැක්කා. මම ඉබේම වගේ ඒ පැත්ත බැලුවා. ඒ දැක්ක දෙයින් මට උන්හිටි තැන් අමතක වුණා. අනේ දෙවියනේ බිම වැටිලා හිටියේ දරුවෙක්. මම කෑගහලා ඇඬුවා. එතකොට තමයි අහල පහළ හිටිය කට්ටිය එතැනට දුවගෙන ආවේ” යැයි ඊයේ (25දා) මහ බැංකු ගොඩනැඟිල්ලේ සිට බිම වැටී මියගිය දරුවා වැටෙන අයුරු දුටු චීන ජාතික කාන්තාව දෙනෙතට නැඟුණු කඳුළු පිසිමින් පැවැසුවාය.

“යමක් ඉහළ සිට වැටෙනවා දැක්කා. තත්පර කිහිපයකට පස්සේ විශාල ශබ්දයක් ඇහුණා. ශබ්දය ඇහුණු පැත්ත බලද්දී අපි සිටි තැනට අඩි කිහිපයක දුරින් පුද්ගලයකු ගොඩනැඟිල්ලෙන් බිමට වැටුණා. වැටෙනවාත් එක්කම ඒ වැටුණු කෙනාගේ ලේ අපේ ඇඟට විසිවුණා. සිරුරේ කැබලි ඒ අවට විසිරී තිබුණා. මගේ යහළුවයි මමයි ලොකු කම්පනයකට පත්වෙලා දුවගෙන ගිහින් පොලිස් නිලධාරීන්ට දැන්නුවා” යැයි ඇය තවදුරටත් පැවැසුවාය.

(කුමුදු උපුල් ශාන්ත, ශිරාන් රණසිංහ, රුවන්ත නිතුල්ගස්පිටිය)