ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ ‘බි' කාණ්ඩයේ තරගාවලියේ ක්‍රීඩා සමාජ රැසකට විදේශීය ක්‍රීඩකයන් සහභාගිකරගැනීමෙන් දේශීය ක්‍රීඩකයන් ගණනාවකට එහි අවස්ථාව අහිමිව ගොස් තිබෙන බව වාර්තා වෙයි. පළමු පෙළ 'බී' කාණ්ඩයේ තරගාවලියට සහභාගි වී සිටින කණ්ඩායම් 12 න් ක්‍රීඩා සමාජ 10
කට වැඩි සංඛ්‍යාවකට  විදේශ ක්‍රිඩකයෝ දෙදෙනෙක් බැගින් ක්‍රීඩා කරති. මෙම තත්ත්වය මත දේශීය ක්‍රීඩකයන් 20 කට අධික සංඛ්‍යාවකට තරගාවලි අවස්ථාව අහිමිව ගොස් තිබෙන බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පළමු පෙළ තරගාවලියට මේ වන විට සහභාගි වී සිටින ඇතැම් ඉන්දීය සහ පාකිස්තානු ක්‍රීඩකයන් එම රටවල්වල පහළ කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ වෙති. ඒ ඇතැම් ක්‍රීඩකයෝ වයස 40 ඉක්මවූ අය ද වෙති. පළමු පෙළ තරගාවලියට සහභාගි වීමට පැමිණි ඉන්දීය සහ පාකිස්තානු ක්‍රීඩකයන් 30 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකාවේ
නේවාසිකව රැදී සිටිති. ඔවුන්ගේ මාස තුනක පමණ නේවාසික පහසුකම්, ආහාර පාන වියදම් මෙන්ම වීසා ගාස්තු සහ ගුවන් ප‍්‍රවේශපත් ගාස්තු ක්‍රීඩා සමාජ දරයි.

එක විදේශීය ක්‍රීඩකයකුට තරගයක් සදහා රුපියල් 30,000 කට ආසන්න මුදලක් තරග ගාස්තුව ලෙස ලැබේ. ක්‍රිකට් ක්‍රීඩාව තුළ දේශීය ක්‍රීඩිකයන් රඳවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ සිට තරග ගාස්තු ඉහළ දැමුව ද එහි  ප්‍රතිලාභ ශ්‍රී ලාංකිකයන්ට උපරිමයෙන් නොලැබෙන තත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බවට ද චෝදනා එල්ල වේ.  පළමු පෙළ 'ඒ' කාණ්ඩයේ ඇතැම් ක්‍රීඩා සමාජවලට ද විදේශීය ක්‍රීඩකයෝ ක්‍රීඩා කරති.

විදේශීය ක්‍රීඩකයන් පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳව හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් පැවසුවේ
මෙය පාසල හැර එන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන දැඩි අසාධාරණයක් බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි".

"මෙම තරගාවලියේ ඉන්න ගොඩක් ක්‍රීඩකයෝ 'ඒ' කාණ්ඩයේ අවස්ථාව නැති තරුණ අය. එක කණ්ඩායමකින් අවස්ථා දෙකක් නැති වුණාම තරුණ ක්‍රීඩකයෝ ඉතිරි වෙයිද? මේ කිඩා කරන පිටරට ක්‍රීඩකයො
ඒ රටවල මොන මට්ටමකින් ක්‍රීඩා කළ අය ද කියන්නත් අපි දන්නෙ නෑ"

"විදේශීය ක්‍රීඩකයන්ගේ එකම අරමුණ එංගලන්ත ක්‍රීඩා සමාජ  තරගාවලියට සහභාගි වීමේ සුදුසුකම වන පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කිරීමේ සුදුසුකම සම්පූර්ණ කිරීම පමණයි. එයින් වෙන්නෙත් අපේ ක්‍රීඩකයකුට එංගලන්තයේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවීමයි" යැයි එම  ටෙස්ට් ක්‍රීඩකයා වැඩි දුරටත් පැවසීය.මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා  ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවකු පැවසුවේ මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා විනාශ කරන අපරාධයක් බවයි.

"විදේශ ක්‍රීඩකයන් බි කාණ්ඩයේ තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් එහි ඉලක්කය ළගාකරගන්න බැරි වෙනවා. මේක අපේ ක්‍රීඩකයන්ට කරන ලොකුම  අසාධාරණයක්. “බී” කාණ්ඩයේ අරමුණ 'ඒ' කාණ්ඩයට ක්‍රීඩකයන් නිර්මාණයට කිරිමයි. නමුත් ඉන්දිය සහ පාකිස්තානු ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමෙන් අපේ ක්‍රීඩකයන්ගේ අවස්ථාව නැති වෙනවා" යැයි එම පුහුණුකරු ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු පෙළ “ඒ” කාණ්ඩයේ ක්‍රීඩා සමාජයකට ලක්ෂ 190 කට ආසන්න මුදලක් ලබාදෙයි. මේ වනවිට ඉන් ලක්ෂ 120 ක් පමණ ලබාදී ඇති බව වාර්තා වේ. 'බී' කාණ්ඩයේ ක්‍රීඩා සමාජයකට රුපියල් ලක්ෂ 150 කට අධික මුදලක් ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන බව සඳහන් වේ.
(යොහාන් භාසුර)