https://www.gossiplankanews.com/2020/02/sri-lankan-operation-wuhan.html#more
මාරාන්තික කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය වී ඇති චීනයේ වූහාන් ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී
 ලාංකික සිසුන් 33 දෙනා නිරුපද්‍රිතව මෙරටට රැගෙන ඒමට ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ විශේෂ
කණ්ඩායම පෙරේදා (01දා) දින සමත් විය. ගුවන් නියමුවන් සිවුදෙනකු
ඇතුළු 16 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය රැගත් එම සමාගමට අයත් UL 1423
දරන ගුවන් යානය චීනයේ වූහාන් බලා පියාසර කළේ ඉකුත් 31 වැනි දිනය. කටුනායක ගුවන්තොටුපොළෙන්
එම යානය මෙරට වේලාවෙන් පස්වරු 3.45ට වූහාන් බලා පියාසර කළේය.

සාමාන්‍යයෙන් ගුවන් ගමනක් සඳහා ගුවන් නියමුවන් දෙදෙනකු ගමන් කරන නමුත් මෙම සුවිශේෂ ගමන සඳහා ගුවන් නියමුවන් සිවුදෙනකු එක්විය.
මෙහි ප්‍රධාන ගුවන් නියමුවන් ලෙස චමින්ද සොයිසා සහ සංජය අනුෂ්ක ජීවන්දර යන මහත්වරු කටයුතු කළහ.
සහායක ගුවන් නියමුවන් ලෙස ශෙහාන් සෙනවිරත්න, රවීන් රණතුංග යන මහත්වරු කටයුතු කළහ.

ශ්‍රී  ලංකන් ගුවන් සමාගමට අයත් යානාවක් මීට පෙර කිසිදාක චීනයේ වූහාන් හි පිහිටි ගුවන්තොටුපොළ
වෙත ගොඩබස්වා නොතිබීමද විශේෂත්වයකි.
මෙම පළමු ගොඩබැස් වීම සාර්ථක කර ගැනීම සඳහා ගුවන් කාර්ය මණ්ඩලය සතුව ගුවන් පරිපථ
විශේෂඥයන්, ගුවන් මාර්ග සංඥා විශේෂඥයන් ඇතුළු ගුවන් විශේෂඥ මණ්ඩලයක්ද සිටියහ. එරටින් ඉන්ධන
ලබාගත නොහැකි තත්ත්වයක් මත මෙම යානයට ගුවන් යානා ඉන්ධන කිලෝ 82,000ක් කටුනායකින්
පුරවාගෙන තිබිණි.

ගුවන් නියමුවන් සිවුදෙනාට අමතරව ගුවන් කාර්ය මණ්ඩලය ලෙස ෆර්හාන් හනීෆා, සමින්ද පෙරේරා, ජෙනලි
ජාන්ස්සා, කෞෂාන් කන්කානම්ලාගේ, දනිදු දුනුසිංහ, දිනුක් මාරප්පෙරුම, වසීම් මොහොමඩ්, අමාලි
පතිරත්නගේ, එල්.ඩී.එම්. පත්බේරිය, දර්ශන දිසානායක, බී.පී.ආර්.ඩී. පතිරාජ, මලීෂ ප්‍රසාද් යන
කාර්ය මණ්ඩලය කටයුතු කළහ.

මෙම ගුවන් යානය ඉකුත් සිකුරාදා (31දා) දින මෙරට වේලාවෙන් රාත්‍රි 11.30ට පමණ වූහාන්
ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සේය.


ඒ වන විට ශ්‍රී  ලාංකික සිසුහු පිරිස සිය මවුරටට ඒම සඳහා වූහාන් ගුවන්තොටුපොළ වෙත ආරක්‍ෂිතව
එරට බලධාරීන් සමඟ පැමිණ සිටියහ.

දැඩි පාළු ස්වරූපයක් ගෙන දුන් වූහාන් ගුවන්තොටුපොළේදී එම සිසුන් පිරිස ගුවන් යානයට ගොඩනංවා ගත්
ගුවන් කාර්ය මණ්ඩලය එරට වේලාවෙන් පෙරේදා (01දා) දින අලුයම 4.20ට පමණ මත්තල
ගුවන්තොටුපොළ වෙත පියාසර කිරීම ආරම්භ කළහ.

ගුවන් කාර්ය මණ්ඩලය යුහුසුලුව ඔවුන්ට අවශ්‍ය දෑ ගුවන් ගමන තුළදී සැපයූ අතර සාර්ථක මෙහෙයුමකින්
අනතුරුව පෙරේදා (01දා) දින පෙරවරු 7.45ට UL  1423 දරන ගුවන් යානය මත්තල ගුවන්තොටුපොළ
වෙත නිරුපද්‍රිතව ගොඩබෑවේය.

ගුවන් කාර්ය මණ්ඩලය නිරෝධායන ඇඳුම් සහ ආරක්‍ෂක ක්‍රියාමාර්ගයන් ගෙන තිබූ අතර මත්තල
ගුවන්තොටුපොළේදී ඔවුන් සහ ඔවුන්ගේ භාණ්ඩ ගුවන් හමුදාවේ සිටින විශේෂඥ කණ්ඩායමක් විසින් දැඩි
පරීක්‍ෂාවට ලක්කර විසබීජ නිරෝධායනය කිරීමට පියවර ගත්හ.

මෙම ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ සභාපති, අශෝක් පතිරගේ
මහතා මෙසේ පැවැසීය.

“සුනාමි අවස්ථාවක් වේවා, ත්‍රස්ත උවදුරක් වේවා ඕනෑම ආපදා අවස්ථාවකදී ජාතික ගුවන් සේවය,
අපේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියා. කුමන අභියෝගයක් යටතේ වුවත් එම ජාතික වගකීම
නොපිරිහෙළා ඉටුකිරීමට අපි සෑමවිටම කටයුතු කරන බව පවසන්නේ අභිමානයෙන් යුතුවයි”.

“කොරෝනා වයිරසය හේතුවෙන් දැනට හුදෙකලා කර ඇති වූහාන් නගරයට යෑම සඳහා ස්වේච්ඡාවෙන්
ඉදිරිපත් වූ අපගේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් 16 දෙනාගේ පරාර්ථකාමී මෙහෙවර පිළිබඳව
අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ සියලු සාමාජිකයන් අතිශය ආඩම්බරයට පත්වෙනවා.
ගුවන් නියමුවන් ඇතුළු එම කාර්ය මණ්ඩලය තමන්ගේ සාමාන්‍ය රාජකාරි මට්ටම ඉක්මවා යමින් නැවතත් රට
වෙනුවෙන් තම වගකීම නොපිරිහෙළා ඉටුකිරීමට ජාතික ගුවන් සේවය වශයෙන් පියවර ගෙන තිබෙනවා”
පතිරගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

“ඒ වගේම මත්තල ගුවන්තොටුපොළේදී මෙම ගුවන් මගීන් හැසිරවීමට දායකවූ අපගේ ගුවන්තොටුපොළ කාර්ය
මණ්ඩලයට මෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී දිනපතා චීනයේ සිට පැමිණෙන
මගීන් හා භාණ්ඩ හසුරුවන කාර්යමණ්ඩල සාමාජිකයන්ටත්, වාණිජ කණ්ඩායම, ගුවන් යානා මෙහෙයුම්, ගුවන්
යානා අභ්‍යන්තර සේවා, වෛද්‍ය මධ්‍යස්ථානය, කැන්ටන් කාර්යාලයේ සේවකයන් හා ඉන්ජිනේරු අංශය
යන සෑම අංශයකම සේවක මහත්ම මහත්මීන්ට කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කරගැනීමට
කැමැතියි” සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම මානුෂීය මෙහෙයුම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී
 ලංකා යුද හමුදාව, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්, චීනයේ වැඩබලන ශ්‍රී  ලංකා
තානාපතිවරයා, බීජිංහි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය, චීන රජය, ශ්‍රී  ලංකාවේ චීන තානාපති
කාර්යාලය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී  ලංකා රේගුව, ආගමන හා විගමන
දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන හා විශේෂ නිලධාරීන් රැසක් තම
උපරිම දායකත්වය ලබාදී තිබූ බවද ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක්
නිකුත් කරමින් පැවැසීය.

මේ අතර ශ්‍රී  ලංකා ගුවන් හමුදාවද සිය ජීව වෛද්‍ය ආධාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළට
එවමින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයට අවශ්‍ය  සියලු පහසුකම් සැලසූ අතර එම සහයෝගයද මෙම මෙහෙයුම
සාර්ථක කරගැනීම සඳහා විශාල පිටිවහලක් වූ බව නිවේදනයේ සඳහන් වේ.

මෙලෙස වූහාන් සිට රැගෙන ආ පිරිස අතර සිසුන් 15 දෙනකු හා සිසුවියන් 18 දෙනකු සිටී.

මත්තලට පැමිණි මෙම සිසුන් පිරිස වෛද්‍ය පරීක්‍ෂාවෙන් අනතුරුව ගුවන් හමුදාව විසින් සූදානම් කර තිබූ
විශේෂ බස් රථයකින් දියතලාව කඳවුර වෙත විශේෂ ආරක්‍ෂාවක් යටතේ රැගෙන එනු ලැබීය.

යුද හමුදා විශේෂඥයන් සහ රසායනික න්‍යෂ්ටික ජීව විද්‍යාත්මක සහ විකිරණශීලී ප්‍රතිචාර බළගණයේ
සාමාජිකයන් විසින් මෙම සිසුන් දියතලාව කඳවුර වෙත රැගෙන එනු ලැබීය. පෙරවරු 11.40ට පමණ සිසුන්
පිරිස රැගත් විශේෂ බස් රථය එම කඳවුර වෙත ළඟාවිය.

චීනයේ සිට සපැමිණි මෙම ශ්‍රී ලාංකික සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්
හා නියෝග මත ක්‍රියාත්මක කරන ලද මෙම මහජන සෞඛ්‍ය ක්‍රියාවලිය ශ්‍රී  ලංකා යුද්ධ හමුදාව,
ආරක්ෂක අමාත්‍යාංශය සහ සෞඛ්‍ය  අමාත්‍යාංශය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව වැඩබලන
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අධීක්ෂණය සහ
මාර්ගෝපදේශ යටතේ වහාම ඔවුන් හුදකලා කොට අවශ්‍ය නිරෝධායන සැපයීමේ කටයුතු සඳහා යොමුකරනු
ලැබිණි.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ  කර්නල්
වෛද්‍ය සවින් සේමගේගේ ප්‍රධානත්වයෙන් නිවාරණ වෛද්‍ය‍ හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ
මණ්ඩලය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගෙන
ඇති අතර ඒ අනුව, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සහ දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල මේ වන
විට පෞද්ගලික වැසිකිළි, සනීපාරක්ෂක තුවා, ඇ¾දුම්, ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සහ වයි-ෆයි
සන්නිවේදන පහසුකම්, උෂ්ණත්වමාන ආදිය ඔවුන්ට සලසා දී ඇත. වෛද්‍ය විද්‍යාත්මකව නිරෝධායන
ක්‍රියාවලියට සරිලන පරිදි ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති මුද්‍රා තබන ලද මෙම නේවාසිකාගාර
දෙක අඩි 100ක දිගකින් සහ අඩි 20ක පළලකින් යුතු වන අතර එම නේවාසිකාගාර පෞද්ගලික ආරක්ෂණ
උපකරණවලින්ද සමන්විත වේ. දියතලාව යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය  උපදේශකයන්, වසංගත රෝග
විශේෂඥයන් සහ වෙනත් පරිපූරක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ඔවුන්
සති දෙකක කාලයක් හුදකලාව තබා නිරෝධායන කටයුතු සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය  සහ මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
 කර්නල් වෛද්‍ය සවින් සේමගේ දියතලාව යුද්ධ හමුදා රෝහලේ සියලු  රැඳවියන්ගේ මූලික පරීක්‍ෂණ මේ
වන විට සිදු කර ඇත.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල්, මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් ලබා දුන්
මාර්ගෝපදේශ මත දියතලාව යුද්ධ හමුදා රෝහලේ අණදෙන නිලධාරී සහ සියලුම වෛද්‍ය අංශ ආවරණය
වන පරිදි ඒකාබද්ධ වෛද්‍ය  නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සාමාජිකයන් මෙම නිරෝධායන
මධ්‍යස්ථානයට ඇතුළත් කර මූලික සනීපාරක්ෂක ක්‍රියාවලියන්වලින් පසුව අවශ්‍ය නිරෝධායන කටයුතු
සිදුකිරීම සඳහා සුදුසු ස්ථානයක් බව අනුමත කරනු ලැබීය.

ඒ අනුව, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර
 සිල්වාගේ උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයන් විසින් ඉකුත් සිකුරාදා (31දා) දින සන්ධ්‍යාව වන
විට මෙම වර්ග අඩි 100 × 20 ප්‍රමාණයේ නිරෝධායන අවශ්‍යතා සඳහා චීනයේ සිට පැමිණි පුද්ගලයන්
මේ වන විට නවාතැන් ගෙන සිටින නව සනීපාරක්ෂක ගොඩනැඟිලි දෙකේ ඉදිකිරීම් අවසන් විය.

රජය ක්‍රියාත්මක කරනු ලබන කඩිනම් නිරෝධායන ක්‍රියාමාර්ගයන්ට අනුව සෞඛ්‍ය සේවා
අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික
ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්, මධ්‍යම ආරක්ෂ‍ක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ
සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ඉකුත් සිකුරාදා (31දා) දින සන්ධ්‍යාව වන විට මධ්‍යම ආරක්ෂක
සේනා මූලස්ථානය යටතේ ඇති 17 වන ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් මෙම නව ගොඩනැඟිලි
දෙකෙහි ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කරන ලදී.

මීට අමතරව, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් දියතලාව යුද්ධ හමුදා රෝහල්
පරිශ්‍රයේ ඕනෑම හදිසි අවස්ථාවක දී භාවිත කළ හැකි පරිදි තවත් ගොඩනැගිලි තුනක් ප්‍රතිසංස්කරණය
කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් පවතින බවද යුද හමුදාව පවසයි.


චාමර අමරසූරිය

පසුබිම් වාර්තා: දෙමෝදර චන්දික සෝමරත්න, දියතලාව - ප්‍රභාත් රත්නායක, මත්තල - ඩී.එන්.
ජයසේකර, කටුනායක - ගයා තිරිමාදුර