ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැඟිල්ලේ දහසය වැනි මහලේ සිට බිමට වැටී මියගිය දරුවා එලෙස මියගියේ ඇයිද යන්න තවමත් අභිරහසක්ව පවතී.ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුවේ සේවය කරන කේ.ජී.පී. සිරිකුමාර මහතාගේ හා පුද්ගලික බැංකුවක නීති නිලධාරිනියකගේ දරුවා වන
වයස අවුරුදු දහසයක් වන නිදුක් කුඩාගම යන  දරුවා මෙලෙස මරණයට පත් වී තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර වාර්තාව ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (26දා) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළාය.


පසුගිය 25 වැනි දින සවස 3ට පමණ වයස අවුරුදු දහසයක ළමයකු කොටුව ජනාධිපති මාවතේ පිහිටි මහ
බැංකු ගොඩනැඟිල්ලේ සිට බිමට පැනීම හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් ඔහු නිදුක් කුඩාගම යනුවෙන්
හඳුනාගෙන ඇති බවත් වෙනත් කිසිදු කරුණක් අනාවරණය කරගෙන නොමැති බවත් කොටුව පොලිසිය අධිකරණයට
දැන්වීය.
මෙම දරුවා මෙලෙස ගොඩනැඟිල්ලෙන් පැන ඇත්තේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී
නොමැති බවත් මේ පිළිබඳව කොටුව පොලිසියේ අපරාධ අංශය විමර්ශන සිදුකරන බවත් කොටුව පොලිසිය
අධිකරණයට දැනුම් දී තිබිණි.


ඒ අනුව මෘත ශරීරය හා අපරාධ ස්ථානය පරීක්ෂා කර බලා පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට අධිකරණ
වෛද්‍යවරයාට නියෝග කරන මෙන් කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැඟිල්ලේ දහසය වැනි මහලේ සිට බිමට වැටී මියගිය දරුවාගේ පශ්චාත්
මරණ පරීක්ෂණය ඊයේ (26දා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදු කෙරුණු අතර ඉහළ
සිට වැටී හිසට හා පපුවට සිදුවූ බරපතළ හානි නිසා මෙම මරණය සිදුවී ඇතැයි එහිදී අනාවරණය විය.
මෙම හදිසි මරණය සම්බන්ධ වැඩිදුර විභාග කටයුතු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදු කිරීමට
නියමිතය.

ශිරාන් රණසිංහ, හංසි නානායක්කාර