ගිංගඟේ මුල්කඩ පාලම අසල දිය නෑමට ගොස් දිය  ගිලීමෙන් මියගිය රුසිත් තනුජය දිසානායක (15) නමැති බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ  සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණයේදී සිසුවාගේ පාසල් මිතුරෙකු සාක්ෂි දෙමින් කියා සිටියේ නාවික හමුදාව සිද්ධිය අවස්ථාවේ
උදව් නොකර වීඩියෝ කරමින් සිටි කතාවකි.
'රුසිත්ගෙ අත්දෙක විතරයි පෙන්න තෙබුණේ. මා ඉක්මනට එයා වතුරෙන් ඉස්සුවා. ටික වෙලාවකින් ආපසු එයා යටට යන්න ගියා. ආපසු මා යට ගිහින් එයාව උස්සලා ගත්තා. දෙවැනි වතාවේ ඔසවා ගන්න විට මගේ උරහිස් රිදෙන්න ගත්තා. දෙවැනි වතාවේ ඔසවා ගන්න විට එතැනට බෝට්ටුවක් ආවා. මා කෑගහලා කීවා

මෙයා උඩට ගන්න කියලා. මේ වනවිට මගේ උරහිස් රිදෙන්න ගත්තා. ඒ වනවිට නේවි එකේ අය මේ සිද්ධිය විඩියෝ කරමින් හිටියා. නාවික හමුදාවේ අය මට පොඩ්ඩක් හරි උදව් කළානම් ඒ අයගේ ජැකට් එකක් හරි වතුරට දැම්මා නම් එහෙම නැතිනම් බෝට්ටුවේ ළගටම ආව නම් මට ඒ මොකක් හරි එල්ලිලා රුසින් බේරා ගැනීමට තිබුණා. එය කළ නොහැකිවීම ගැන මට ගොඩක් දුකයි. ගිංගඟේ මුල්කඩ පාලම අසල දිය නෑමට ගොස් දිය  ගිලීමෙන් මියගිය පාසල් සිසුවකුගේ හදිසි මරණයට පරික්ෂණයේ දී සාක්ෂි දෙමින් තරිඳු සූරිආරච්චි (15) නමති සිසුවා එසේ කීවේය.

දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ රුසිත් තනුජය දිසානායක (15) නමැති බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පැඟිරිදුව වත්ත, උනන්විටිය බද්දේගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි. මියගිය සිසුවාගේ හදිසි මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පෙරේදා (26) පස්වරුවේ දී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පවත්වනු ලැබීය. එහිදී තවදුරටත් සාක්ෂි දෙමින් සිසුවා මෙසේද කීවේය.

මා යනවිට ඒ අය වතුරේ බැහැලා හිටියේ. රුසිත් රුසිත් කියලා අනික් අය හයියෙන් කෑගසනවා මට ඇසුණා. එවේලේ මා දැක්කා රුසිත් වතුරේ ගිලෙන්න යනවා වගේ. මා ඉක්මන්ට කලිසම හා කමිසය ගලවා දමා ගගට පැනලා රුසිත්ගේ ළගට පීනුවා. එතකොට රුසිත්ගේ‍ අත්දෙක විතරයි පේන්න තිබුණේ. මා ඉක්මන්ට එයා වතුරෙන් ඉස්සුවා. ටික වෙලාවකින් ආපසු එයා යට යන්න ගියා. ආපසු මා යට ගිහින් එයා උසලා ගත්තා. මට හරි අමාරුයි මා ගොඩට යනවා. මා ගොඩට ගිහින් විනාඩි තුනකට පමණ පසු එක් අයෙක් බැහැලා කීවා මෙතන නම් පේන්න නැහැ කියලා.  සමහරවිට පහළට ගසාගෙන ගිහින් ඇති කියලා කීව්වා. අපි කෑගහලා ගමේ අය මෙතනට ගෙන්වා ගත්තා. ඒ ආපු අයගෙන් එක් අයෙක් වතුරට බැහලා බැලුවා.

එයාට පේන්නේ නැති නිසා මාක්ස් එකක් තියෙනවානම් දෙන්න කියලා නේවි එකේ අයගෙන් ඉල්ලුවා. එවිට බලන්නම් කියලා ඔහු කීවා. ඒවා අපේ ළංග නැහැ කීවා. ඊට පසු ගමේ වෙනත් කට්ටියක් එතනට ආවා. ඉතින් දෙදෙනෙකු වතුරට බැස්සා. ඒ අතර අපි පොලිසියට හා 1990ට කතා කළා. පස්සේ තව කට්ටියක් ආවා. ඒ අයට කිහිප දෙනෙකු ගඟට බැස්සා. සියලු දෙනා එක්කතුවෙලා රුසිත් උඩට ගත්තා.  1990 ගිලන් රථයකින් රෝහලට ගෙන ගියා . පස්සේ ආරංචි වුණා රුසිත් නැතිවෙලා කියලා. මා පදිංචිවෙලා ඉන්නේ හෙට්ටිඅච්චාරුවවන්ත හැම්මැලිය බද්දේගම යන ලිපිනයේ.


මියගොස් සිටින්නේ මගේ අල්ලපු පංතියේ ඉන්න මගේ යාළුවෙක්. අපි දෙදෙනාගේ ගෙවල් අතර කිලෝමීටරයක් පමණ තමයි දුර තියෙන්නේ. මමත් අද උදේ වෙනදා වගේ පාසල් ගියා. ගේට්ටුවේ අන්කල් කීවා අද වර්ජනයක් නිසා ගෙදර යන්න කියලා. ඊට පසු මා ගෙදර ගියා. උදෑසන 8.30ට විතර මගේ පාපැදිය හදාගන්න රුසිත්ගේ ගෙදරට එහායින් තියෙන ගරාජයකට ගියා. එතන වසා තිබූ නිසා මා කොටගොඩ තැනකට යන්න ආවා. ඒ එන ගමන් සකිලගේ ගෙදර ළගදි රුසිත් තව යාළුවන් දෙදෙනෙකු සමග හමුවුණා. එවිට රුසිත් නාන්න යමු කියලා කීවා. මම බැහැ කියලා කීවා. බයිසිකලය හදාගෙන එන්නම් කියලා. ඊට පසු රුසිත් කීවා බයිසිකලය පස්සේ හදාගමු ඔයගොල්ලගේ ගෙදර ගිහින් තැඹිලිත් බීලා යමු කියලා.

නමුත් ඔහු අපේ ගෙදර ආවේ නැහැ. අපි ගග ළගට යන්නම් ඔයත් එන්න කියලා. ඊට පසු මම බයිසිකලය සකිලගේ ගෙවල් ළග දමලා ගග ළගට ගියා. මා යනවිට රුසිත් එයාගේ අයියා, අනුෂ්ක අයියා හා සකිලයි එතැන හිටයා. මේ ඔක්කොම පාසල් යාළුවන් යැයිද කීවේය. මියගිය සිසුවාගේ වැඩිමහල් සහෝදරයා වන නෙත්සර ප්‍රභාත් දිසානායක (17) නමැති සිසුවා සාක්‍ෂි දෙමින් මෙසේ කීවේය. මියගොස් සිටින්නේ මගේ මල්ලියි. අම්මා තාත්තා මල්ලි ආච්චි සහ මා ගෙදර පදිංචිවෙලා ඉන්නවා. මල්ලි බද්දේගම ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබනවා. මල්ලිට මුකුත් අසනීප තිබුණේ නැහැ. ඔහු වෙනදා විදියට පාසල් ගියා. පාසලේ ගුරුවරු වර්ජනයේ කියලා ගෙදර ආවා. නිවසට එනවිට උදෑසන 8.15ට විතර  ඇති. අම්මා හා තාත්තා ගෙදර හිටියේ නැහැ. ගෙදරට ටිකක් ඉදලා මෙයාට නාන්න යන්න ඕන කියලා කීවා. යාළුවන් වගයක් එනවා කියලා කීවා. මා එයාට යන්න එපා කියලා කීවා. නමුත් මල්ලිට නෑමට යන්න ලොකු  වුවමනාවක් තිබුණා. මා මේ ගැන අල්ලපු ගෙදර ඉන්න අනුෂ්කට කීවා. මල්ලිලා නාත්ත යන්න ඕන බව කියනවා  යමුද පොඩක් බලන්න කියා.

මොකද මේ අය පොඩි අය  නිසා. අපි පස්දෙනෙක් එකට ගියා. ටික වේලාවකට පසු තරිඳු එතනට ආවා. අපේ ගෙදර ළග සිට නෑමට ගිය තැනට කිලෝමීටර් දෙකක් පමණ ඇති. නිවසින් 11.30 විතර පිටත්වුණා. පාපැදිවලින් තමයි එතනට ගියේ. මුලින්ම මල්ලි වතුරට බැස්සා. ඊට පසු අනික් අයත් බැස්සා. මාත් ඊට පසු වතුරට බැස්සා. අපි ගඟට බහිනවිට මල්ලි පිනාගෙන එහාට ගියා. අපි මිට කලින් දෙවතාවක් මෙතනට දිය නෑමට ගිහින් තියෙනවා. මල්ලිට සාමාන්‍යයෙන් පිහිනීමට පුළුවන්. අපි ගඟට බැහැපු තැන ඉඳලා මීටර් 10ක් පමණ මල්ලි පීනලා ගියාට පසු අපි දැක්කා මල්ලි ගිලෙන්න වගේ යනවා. වතුරේ උඩ යට යනවා.ඒ වනවිට තරිඳු ඇවිත් හිටියා. ඔහු ඉක්මනට මල්ලි  ගිලෙන තැනට පීනාගෙන ගියා.

මා දැක්කා තරිඳු තුන්පාරක් විතර මල්ලිව වතරෙත් උඩට ගන්නවා.  එතකොටත් තරිඳුට මොකක්ද වෙනවා වගේ දැක්කා. තරිඳු අපිට කථා කරලා කීවා මගේ ඇඟ ගැල්වෙනවා වගේ කියලා. එවිට තරිඳු මල්ලි අත්හැරියා. එම අවස්ථාවේම නේවී බෝට්ටුවක් ආවා. අපි ඒ අයට කෑගහලා කීවා  මල්ලිව ගොඩට ගන්න කියලා. එක් අයෙක් වතුරට බැහැලා කිවා මෙතන නැහැ කියලා.  මියගිය පාසල් සිසුවාගේ පියාවන සමන් දිසානායක (49) නමැත්තාද සාක්ෂි දුන්නේය. පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකරන ලද සාක්‍ෂි මෙහෙයවීම බද්දේගම පොලිසියේ උ.පො.ප. දර්ශන කුමාර විසින් සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා දියේ ගිලීමෙන් මෙම මරණය වී ඇති බවට තීන්දු කළේය.

(ජේ.කේ.එල් චාමින්ද)