සාර්ථකත්වයේ රහස කැපවීමෙන් ක්‍රීඩා කිරීම බවත්, ඒ හැරෙන්න ක්‍රීඩකයන්ට 'මැජික්’ පෙන්විය නොහැකි බවත් ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පැවසීය. ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර
සූරියවැවදී පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා  පුහුණුකරු මිකී ආතර්,

"පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුණා. එහිදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තා. විශේෂයෙන් අපි, අපේ සැලසුමකට අනුව ක්‍රීඩා කළේ. එය දෙවැනි තරගයටත් එලෙසින්ම ක්‍රියාත්මක කරනවා. කෙසේ නමුත් සාර්ථකත්වයේ රහස මහන්සිවෙලා පුහුණුවීම් කිරීම. ඒ හැරෙන්න ක්‍රීඩකයන්ට මැජික් පෙන්වන්න බැහැ. කණ්ඩායමේ වෙනසක් වෙන්නේ නැහැ. බොහෝ දුරට පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ක්‍රීඩා කරයි. අපේ ක්‍රීඩකයන්ගේ කණ්ඩායම් හැඟීම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඔවුන්, ඔවුන්ගේ වගකීම් හොඳින් හඳුනාගෙන ක්‍රීඩා කරනවා. සමස්තයක් විදිහට කණ්ඩායම් හැගීම ඉහළ මට්ටමින් තිබුණ එක අපිට පළමු තරගයේ ජයග්‍රහණය සඳහා වැදගත් වුණා. එම තරගයෙන් තියුණු ජයක් ලැබුවත්, තරගය ජයගන්නවා කියන විශ්වාසය අපට තිබුණා.

පළමු තරගයේ ජයග්‍රහණයට විශේෂ හේතු වශයෙන් කියන්න පුළුවන්. කණ්ඩායමේ සියලු දෙනාම මහන්සියෙන් ක්‍රීඩා කිරීම. නමුත් සමහර අවස්ථාවලදී තරගය පාලනය කරගන්න අපටත් බැරි වුණා. ප්‍රතිවාදී පන්දු යවන්නන් තරගය ඔවුන්ගේ පාලනයට ගන්න උත්සාහ කළා. පළමු තරගයේදී අපේ දඟ පන්දු යවන්නන් දෙදෙනාත් හොඳින් පන්දු යැව්වා. ඒක කොදෙව් ලකුණු වේගය අඩාළ කරන්න හේතු වුණා. ඒ වගේම නුවන් ප්‍රදීප්ගේ හා තිසර පෙරේරාගේ පන්දු යැවීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔවුන් දෛදෙනා අලුත් පන්දුවෙන් හොඳින් පන්දු යවනවා. නුවන් හා තිසර දෙදෙනා යොමු කරන පන්දුවාර දහය කණ්ඩායමට වාසියක්. කොදෙව් පිතිකරුවන් පාලනය ‍කිරිමට එය ප්‍රධාන වශයෙන් බලපෑවා.

තරගය මැදදී පන්දු යැවූ ඉසුරු උදානද තීරණාත්මක කඩුලු තුනක් (ෂේ හෝප්, නිකලස් පුරාන්, කිරන් පොලාඩ්) ගත්තා. එය කොදෙව් ලකුණු පුවරුව පාලනය කිරීමට හොඳ අවස්ථාවක් වුණා. අපේ පිතිකරණය වගේම පන්දු රැකීමත් හොඳින් තිබුණා. පිතිකරුවෙකු ලෙස කුසල් පෙරේරා ඉතා හොඳින් ක්‍රීඩා කළා. නමුත් තවදුරටත් අපේ පිතිකරුවෙකුගෙන් හොඳ ඉනිමක් අවශ්‍යයි. ඒ වගේම තිසර පෙරේරා වගේ පිතිකරුවෙකුට තරගයේ අවසන් භාගයේදී ඇවිල්ල ලොකු පහරවල් ගහල තරගය අවසන් කරන්න නිදහස තිබිය යුතුයි. අපි දෙවැනි තරගයට හොඳින් සුදානම් වෙලා ඉන්නේ. හෙට (අද) ක්‍රීඩාංගණයට ඇවිල්ල හොඳින් තරග කරන්න හැකියාවක් තිබෙයි කියලා හිතනවා. පළමු තරගයත් ජයගෙන සිටින නිසා ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය අතිශයින් වැදගත්. ඒ වගේම මේ වනවිට පවතින රස්නය සහිත කාලගුණය ගැන අපි සැලකිල්ලෙන් ඉන්නේ. අපේ වෛද්‍ය කණ්ඩායම ඒ ගැන බොහොම උනන්දුවකින් කටයුතු කරනවා” යනුවෙන් පවසා සිටියේය.