"අත්‍යවශ්‍ය සේවා’ පුවරුව සවිකළ ලොරි රථයකින් බලපත්‍ර රහිත රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා දැව තොගයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයට රැගෙන යමින් සිටි ලී මෝල් හිමියෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
ගැනීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රදේශයේ නිලධාරීහු සමත් වූහ.

රජයේ කැලෑවලින් දැව කපා 'අත්‍යවශ්‍ය සේවා’ පුවරුව සවිකළ ලොරි රථ යොදාගෙන දැව ජාවාරමක් කරන බවට කුරුණෑගල අඩවි වන නිලධාරී ජයන්ත විමලසිරි මහතාට ලැබුණු තොරතුරකට අනුව කුරුණෑගල දඹුල්ල මහාමාර්ගයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා බලපත්‍ර රහිත දැව තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අපට පැවසීය.

කුරුණෑගල දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාගේ උපදෙස් මත සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී රජයේ කැලෑවලින් බලපත්‍ර නොමැතිව කැපූ දැව 'අත්‍යවශ්‍ය සේවා පුවරුව සවිකළ ලොරි රථවලින් ලංකාවේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදුකළ බවට තොරතුරු හෙළි වී ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට පැමිණෙන අත්‍යවශ්‍ය සේවාපුවරුව සවිකළ ලොරි රථ යළි ත්‍රිකුණාමලය ප්‍රදේශයට යන අවස්ථාවේදී අරණායක ඇතුළු ලංකාවේ විවිධ ප්‍රදේශලවල රජයේ කැලෑවලින් හොර රහසේ කපන දැව ලංකාවේ විවිධ ප්‍රදේශලවලට රැගෙන යන බව අනාවරණය කරගෙන ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

'අත්‍යවශ්‍ය සේවා' පුවරුව සවිකළ ලොරි රථ පොලීසිය හෝ වෙනත් රජයේ නිලධාරීන් පරීක්ෂාවට ලක් නොකිරීම හේතුවෙන් නීතිවිරෝධී දැව ප්‍රවාහනය කිරීමට දැව ජාවාරම්කරුවන් මෙලෙස කටයුතු යොදා ඇති බව පැවසූ එම නිලධාරියා මෙම ලොරි රථයට දැව පැටවූ බව කියන අරණායක හා එම දැව තොගය රැගෙන ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාන සොයා ගැනීමට විමර්ශන මෙහෙයවයි.

කුරුණෑගල දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාගේ උපදෙස් මත කුරුණෑගල අඩවි වන නිලධාරී ජයන්ත විමලසිරි, බීට්ටු වන නිලධාරී දිසානායක ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරති.

-බුද්ධිමාල් රුබේරු-