උපාධිධාරීන් රැකියාගත කිරීමේ 2020 වැඩසටහන යටතේ මාර්තු 01 සිට උපාධිධාරීන්ට ලබා දී ඇති අභ්‍යාසලාභී පුහුණු පත්වීම් අත්හිටුවීමට මැතිවරණ කොමිසම  අද (04) දින පියවර ගන්නා ලද අතර මෙය ආණ්ඩුව දැන දැන සිදු කළ ඡන්ද ගුණ්ඩුවක් බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. එහි මෙසේ දැක්වේ.
පාර්ලිමේන්තුව මාර්තු 02 විසුරුවා හැරීමට නියමිත බව ආණ්ඩුව හොඳාකාරවම දැන සිටිමින් එම දිනයේ ම අදාළ වන පරිදි උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම ආණ්ඩුව හිතාමතාම උපාධිධාරීන් තවදුරටත් අසහනයට පත්කිරීමක් බව පෙනී යයි.


කෙසේ වෙතත් ආණ්ඩුව සත්භාවයෙන් ම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ අවශ්‍යතාවයක් තිබුණේ නම් 2019 නොවැම්බර්, දෙසැම්බර් හා 2020 ජනවාරි 31 දක්වා මාස 03 ක කාලයක් ආණ්ඩුවට ඉඩ තිබූ බව පැහැදිලි සත්‍යයකි.

එමෙන්ම රැකියා ලබා දීම බාධාවකින් තොරව අවශ්‍යව තිබුණේ නම් අදාළ බඳවාගැනීමේ ප‍්‍රමාණය රාජ්‍ය සේවා කොමිසම මගින් අනුමත කරගෙන පසුව අවශ්‍ය නම් මැතිවරණ කොමිසමෙන් ද අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුවට ප‍්‍රමාණවත් කාලයක් තිබූ බව පැහැදිලිය.

එම කරුණු කිසිවක් සැලකිල්ලට නොගනිමින් මැතිවරණ කොමිසම හරහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුව ක‍්‍රියාකර තිබීම රැකියා විරහිත උපාධිධාරීන් 56 000 කට කළ බලවත් අසාධාරණයක් බව පෙන්වා දෙන්නෙමු.

උපාධිධාරීන් 56 000 කට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පත්ව සිටින කායික මානසික හා සමාජීය පීඩාව සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය යළි සලකා බලා සහනදායී විසදුමක් ලබා දීමට කටයුතු කිරීමට හැකියාවක් තිබේදැයි යන්න සාකච්ඡා කිරීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තීරණය කර ඇත.
චන්දන සූරියආරච්චි කැඳවුම්කරු