ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සී නාහමියන්ට කෝට්ටේ කල්‍යාණි සාම ශ්‍රී මහා ධර්ම සභාව විසින් අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ.
ඒ පිළිබද සන්නස් පත්‍රය පිරිනැමීම ලබන මැයි මාසයේ දී කොට්ටේ රජ මහා විහාරස්ථානයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත. නාහිමියන්ට උපහාර පිරිනැමීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කිරිමටත් මෙම අවස්ථාවට විදේශ රටවල බෞද්ධ ජනතාව ද සහභාගිවීමට නියමිතය.

ජපානයේ ප්‍රධාන සංඝනායක පදවියට අමතරව ජපානයේ සර්ව ආගමික සංවිධානයේ සභාපති තනතුරේ ද උන්වහන්සේ කටයුතු කරයි. ජපන් ශ්‍රී ලංකා සංස්කෘතික මිත්‍ර සම්මේලනයේ සභාපති තනතුර ද හොඹවන උන් වහන්සේ කොළඹ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව නිදහස් ළදරු පාසල ද පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාව වෙනුවෙන් අධ්‍යාපන, සහන සත්කාරක සේවා රැසක් ද උන් වහන්සේ විසින් සිදු කර ඇත. 2019 වර්ෂයේ දී කන්තලේ ප්‍රදේශයේ පාසල් 68 ක දුවා දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමට ද උන් වහන්සේ පුරෝගාමී වුහ. පොලිස් නිලධාරින්ගේ දරුවන්ට ද මෙලෙස පාසල් උපකරණ බෙදාදුන් උන් වහන්සේ ජපානයේ ආධාර මත කොළඹ කාසල් විදියේ කාන්තා රෝහලට සහ මීගමුව විජය කුමාරණතුංග රෝහල ද සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. පූජ්‍ය පැල්පොල විපස්සි හිමියන්ගේ ජන්ම දිනය යෙදෙන මාර්තු 03 දින පිරිත් සඡ්ඡායනාවක් සහ පසු දින සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මාර්තු මස 03 දින කොළඹ නගරයේ කුලී වැඩ කරන්නන්, මාර්ග පිරිසිදු කරන කම්කරුවන් සහ වැසිකිලි පවිත්‍ර කරන්නන්ගේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමට ද කටයුතු යොදා ඇත.

දුප්පත් ජනතාවට මෙන්ම රටට අවශ්‍ය දෑ ඉටු කිරීම මහ සංඝරත්නයේ වගකීමයි. භික්ෂූන් වහන්සේලා අවශ්‍ය දෙයටත්, අනවශ්‍ය දෙයටත් මාධ්‍ය හමුවේ කථා නොකර ජනතාවට සේවය කළ යුතුයි. මිනිසුන්ගේ ආකල්ප වෙනස් කළ යුතුයි. සියලු දෙනා එකමුතුව ගම හදා රට හැදිය යුතුයි. පූජය පැල්පොල විපස්සි නාහිමියන් අවධාරණය කර සිටියි.