පේරාදෙණිය මධ්‍ය මහා විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එම විදුහලේ පහළ පන්තිවල සිසුන්ට බලහත්කාරයෙන් මත් ටොෆී කැවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කලක සිටම සිදුවන්නේයැයි කියන මේ සිද්ධිය අනාවරණය වී ඇත්තේ
පසුගිය සිකුරාදා බලහක්කාරයෙන් මත් ටොෆියක් කැවීමෙන් පසුව රෝගාතුරවී පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කරනු ලැබූ එම විදුහලේ හය වසරේ සිසුවකු පොලිසියට කර ඇති ප්‍රකාශයකිනි.

තම පාසලේ ඉහළ පන්තිවල ඇතැම් සිසුන් ටොෆි වර්ගයක් දී ඒවා ඔවුන් නම් කරන පහළ පන්තිවල සිසුන්ට දෙන ලෙස නියෝග කරන බවත් එසේ නොකළොත් පහරදෙන බවට ඔවුන් තර්ජනය කරන බවත් ඔහු පවසා ඇත.

සිද්ධියවූ දින තමා ජ්‍යෙෂ්ඨ සිසුවකුගේ නියෝගය කඩකළ නිසා ඔහු ටොෆියක් කඩා එය තමාගේ කටට එබූ බවත් ඉන්පසු තමාට වමනය ගිය බවත් රෝහල්ගතකර සිටින සිසුවා පොලිසියට පවසා ඇත. මෙම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිටස්තර කල්ලියකගේ මෙහෙයවීමෙන් 6, 7, 8 වසරවල සිසුන්ට නොමිලේ මත් ටොෆි ලබාදී ඔවුන් ඒවාට ඇබ්බැහි කරවීමේ වෑයමක යෙදී සිටින බව මේ සිද්ධියෙන් පැහැදිලි වන බවත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පේරාදෙණිය පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පියාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසිය.

මගේ පුතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ බෝයගම කනිෂ්ඨ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය සමත්වී ඔහු මේ පාසලට ඇවිත් තවමත් මාසයක්වත් නෑ. පුතා දින කිහිපයක් සන්තෝසෙන් පාසලට ගියා. නමුත් පස්සේ පුතා විවිධ රෝගාබාධ කියමින් පාසල් යෑම මග ඇරීමට උත්සාහ කළා. පුතා පවසන රෝගාබාධ සම්බන්ධයෙන් ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ට පවා පෙන්නුවා. නමුත් පුතාට කිසිම රෝගයක් නෑ. මෙයා පාසල්යාම මගහැරීමට මෙසේ බොරු රෝග ගැන කියනවා විය හැකි යැයි වෛද්‍යවරුන් පැවසුවා.

පාසල් යාම මගහරින්නේ ඇයි කියා දිගින් දිගටම ප්‍රශ්න කරන විට පුතා හඬමින් කියාසිටියේ පාසලේ ලොකු අයියලා කට්ටියක් ටොෆි ගෙනත් දීලා ඒ ගොල්ලන් කියන අයට ඒවා ගිහින් දුන්නේ නැත්නම් ගහන බවයි. මේ සම්බන්ධයෙන් මා පාසලට ගොස් විදුහල්පතිවරයාටත් විනය භාර ආචාර්යවරයාටත් පැමිණිලි කළා. ඒ අය පවසා සිටියේ පුතාට ආරක්ෂාව දෙන්නම් සිද්ධිය සම්බන්ධයෙන් රහසිගතව සොයා බලන්නම් කියායි.


එදින පාසල ඇරී පුතා ගැනීමට මා ගිය විට පුතා කියා සිටියා, ලොකු අයියා කෙනෙක් අර ටොෆියක් මට බලෙන් කෑව්වා කියා. එවිට මට වමනය ගියා කියලත් කිව්වා. පුතා සවස ගෙදර ගිහින් ඇඟට ලොකු අමාරුවක් දැනෙනවා කී නිසා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය මධ්‍ය මහා විදුහල්පති රුවන් එදිරිසිංහ මහතාගෙන් දුරකථන මඟින් කළ විමසීමකදී ඔහු කියාසිටියේ, පිටස්තර තරුණයන් කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් මත් ටොෆි වර්ගයක් පාසලේ හය, හත, අට වසරවල සිසුන්ට නොමිලයේ ලබාදීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තම පාසලේ විනය කමිටුව මඟින් මේ පිළිබඳව රහසිගතව විමර්ශනයක් ආරම්භ කර තිබියදී මේ සිද්ධිය සිදුවී ඇති බවත් දැන් එහි විමර්ශන කටයුතු පොලිසිය දක්වා දුර දිග ගොස් ඇති බවද මේ සිද්ධිය පිටුපස පාසලේ දෙමව්පියන් කිහිප දෙනෙකුද සිටින බවට සැකයක් මතුවී ඇති නිසා ඒ සම්බන්ධවත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද විදුහල්පතිවරයා කීය.

මුහුණු ආවරණය වන හෙල්මට් පැළඳගත් තරුණයන් පිරිසක් යතුරු පැදිවලින් පැමිණ මෙම මත් ටොෆි වර්ගය ඉහළ පන්තිවල සිසුන්ට ලබාදෙන බවත් ඒවා එම සිසුන් පහළ පන්තිවල සිසුන්ට බෙදාහරින බවත් මෙහිදී කිසිඳු ආකාරයක මුදල් සංසරණයක් සිදු නොවන බවටත් තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවසීය.

මෙම මත් ටොෆිවලට ඇබ්බැහි වූ සිසුන් පිරිසක් පාසලේ සිටිය හැකි බව කී විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන්ද සොයා බලන බව සඳහන් කළේය. ඇතැම් මවුපියන්ද මත්ද්‍රව්‍ය පාවිච්චි කර පාසලට පැමිණ මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කරන විනය කමිටුවේ ගුරුවරුන්ට තර්ජනය කර ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.

පාසලට නිසි ආරක්ෂක වැටක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් බව කී විදුහල්පතිවරයා පාසලේ ආරක්ෂක කැමරා පද්ධතිවලට හසු නොවන ආකාරයට ඔනෑම පිටස්තර පුද්ගලයකුට පාසලට පැමිණීමට හැකිවීම විශාල ප්‍රශ්නයක් බවද කීය. මවුපියන් සුළු පිරිසක් හැරෙන්නට බහුතර පිරිස මෙම සිද්ධියේදී තමන් සමඟ සිටින බවද විදුහල්පතිවරයා කියාසිටියේය.

- ෂේන් සෙනෙවිරත්න -