අනුරාධපුර ප්රදේශයේ විශේෂ රාජකාරියකට ගොස් නැවත එමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුර ගල්කිරියාගම කිරලව ප්රදේශයේ ඇළක තිබීයදී ඊයේ (1) පෙරවරුවේ සොයාගත් බව කැකිරාව පොලිසිය
කියයි. මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු වූ පී. එම්. ගාමිණි ඒකනායක නමැති හතළිස් නව හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි. මෙම පොලිස් සැරයන්වරයා කැකිරාව ගල්කිරියාගම ප්රදේශයේ පදිංචිකරුවකු බවත් තම සහෝදරයා රාජකාරි නිම වී නිවෙසට නොපැමිණීම හේතුවෙන් 29 වැනි දින රාත්රියේ සිට ඊයේ (1) අලුයම දක්වා සොයා බැලූ බවත් පවුලේ ඥාතීහු පවසති.
පසුව ගල්කිරියාගම මඩාටුගම මාර්ගයේ ඇළ පාරක වැටී තිබියදී තම සහෝදරයාගේ මළ සිරුර සහ වතුර පතුලේ තිබී යතුරුපැදිය සොයාගත් බව ඥාතීහු කියති. ගල්කිරියාගම පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් සැරයන්වරයා 29 වැනි දින අනුරාධපුර ප්රදේශයේ විශේෂ රාජකාරියකට ගොස් නැවත පොලිස් ස්ථානයට පැමිණ සිය යතුරුපැදියෙන් නිවෙස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි. වාහනයක ගැටීමෙන් අනතුර සිදු වුණේ ද අලියෙක් පහරදීමකින් අනතුර සිදු වුණේ ද එසේත් නොමැති නම් කිසියම් පිරිසක් අපරාධයක් සිදු කළේ ද යන්න විශේෂ පරීක්ෂණයක් පවත්වන බව කැකිරාව සහ ගල්කිරියාගම පොලිසි කියයි. අතතුර සම්බන්ධයෙන් කැකිරාව සහ ගල්කිරියාගම පොලිස් ස්ථාන වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
-කංචන කුමාර-