සාම ගිවිසුම ඇති කර ගැනුණේ මාස 18 ක් තිස්සේ පැවැති සාම කතාවලින් පසුවය. කටාර් රාජ්‍යයේ දෝහා හී පිහිටුවා ඇති ' තලේබාන් සාම කාර්යාලය' හරහා එම සාම කතා පැවැත්විණ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් ඇෆ්ගන් යුද්ධය නිමා කිරීමේ අරමුණින් සාම ගිවිසුමක් ඇති කරගැනීම එලෙස සිදුවිණි. සාම කතා සඳහා විශේෂ නියෝජිතයා ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් පත් කරනු ලැබ ඇත්තේ සැල්මේ කලීසාද් ය.
සාම ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ ද දෝහා නුවරදීය. කටාර් රාජ්‍යය ඒ වෙනුවෙන් අනුග්‍රහය දැක්වීය. සාම ගිවිසුම ඇති කර ගැනීම සිදුවුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, පාකිස්තානයේත් අධීක්ෂණය යටතේය. පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ අසල්වැසියාය. ඇෆ්ගනිස්තානයේ සාමය ඇති කිරීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද මැදිහත් විය.
සාම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට කටාර් එමිර් අල් තාත සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද සහභාගී වූහ. ඊට අමතරව, තුර්කියෙන්, ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්, උස්බෙකිස්තානයෙන් සහ ටජිකිස්තානයෙන් නියෝජිතයෝ පැමිණ සිටියහ.
සාම ගිවිසුමේ කොන්දේසිවලට අනුව, පළමුවෙන් සටන් විරාමයක් ආරම්භ වෙයි. ඉන්පසු මාස 14 ක් ඇතුළත තලේබාන් සංවිධානයේ ඉල්ලීමක් ලෙස, ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා සහ නේටෝ හමුදා ඉවත් වීම සිදු වෙයි. මින් ඉදිරියට ඇෆ්ගනිස්තානය ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවනු ඇතැයි ද තලේබාන් සංවිධානය සහතික වී ඇත.
අද වනවිට ඇමෙරිකන් හමුදා සොල්දාදුවෝ 14,000 ක් ඇෆ්ගනිස්තානයේ රැදී සිටිති. ඒ, ඇෆ්ගන් හමුදාවට පුහුණුව දෙමින් උපදේශකයක් ලෙසය. ඊට අමතරව නේටෝ රටවල් 39 ක හමුදා සොල්දාදුවෝ 17,000 ක් ද ඇෆ්ගනිස්තානයේ රැදී සිටිති.
යළි මාර්තු 10 වැනිදා වනවිට ඇමෙරිකන් සහ තලේබාන් නියෝජිතයන් යළි හමුවී සාම ගිසුමේ ඉදිරි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ, පෙරේදා (29) ආරම්භ වුණු සටන් විරාමය ස්ථිර කරමිනි.
සාම ගිවිසුම හරහා සටන් විරාමයක් ආරම්භ වීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සතුට පළ කළේය. දෝහා පැවැති සමුළුවට පොම්පේඕ ද සහභාගී වූයේය. සාම ගිවිසුම හරහා සටන් විරාමයක් ආරම්භ වීම ඇෆ්ගන් වැසියන් ලැබූ ජයග්‍රහණයක් බවත් තලේබාන් සංවිධානය සාම ගිවිසුමේ කොන්දේසිවලට ගරු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් රාජ්‍ය ලේකම් පොම්පේඕ මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
ඇමෙරිකාව නේටෝ හමුදා සමඟ එක්වෙමින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින්, එවකට පැවැති තලේබාන් පාලනය පෙරළා දැම්මේ 2001 වසර අවසානයේය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්‍රස්ත සංවිධානය මගී ගුවන් යානා යොදා ගනිමින් ඇමෙරිකාවට කළ පහරදීමෙන් පසුවය.
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටියේ තලේබාන් ආරක්ෂාව මැදය. ඇෆ්ගන් තලේබාන් පාලනය පෙරළා ඇමෙරිකාව එරට ආක්‍රමණය කලේ ඉන්පසුවය. වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පිහිටුවා ඇත්තේ බටහිර අනුග්‍රහය සහිත රජයකි. අෂ්රාෆ් ඝානී ඇෆ්ගනිස්තානයේ ජනපති ධුරය හොබවයි.