විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය (රක්ෂිත මායිම) ආශ්‍රිතව අනවසරයෙන් කෝමාරිකා වගාවක් සඳහා සහ වැවක් ඉදිකිරීමට භූමිය සැකසීම සම්බන්ධයෙන් ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු
විසින් අදාළ පෞද්ගලික සමාගමට විරුද්ධව තඹුත්තේගම අධිකරණයේ නඩුවක් ගොනුකර ඇතැයි වාර්තාවේ.


විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

ජාතික වනෝද්‍යානයක, ප්‍රේරණ කලාපයක පෞද්ගලික බලපත්‍ර ඉඩම් පැවැතිය හැකි වුවද එහි මහා පරිමාණ ව්‍යාපෘතියක් සිදු කිරීමේදී අදාළ සමාගම පාරිසරික ඇගයීම් වාර්තාවක් සිදුකර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශවලින් අවසර ගත යුතුයි.

මෙම භූමිය එළිපෙහෙලි කිරීමේ කටයුතුවලදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීම හේතුවෙන් අදළ ආයතනයට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබෙයි.

මීළඟ නඩු දිනය මේ මස 10 වැනිදා තඹුත්තේගම අධිකරණයේදී එදිනට අදාළ සමාගමේ ප්‍රධානීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද සිතාසි නිකුත්කර ඇතැයි වාර්තාවේ.
විල්පත්තුවේ කෝමාරිකා වගාව සම්බන්ධ ආරංචිය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව පවතින්නකි.