කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැන නැගී ඇති සමාජ - ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට ජනතාව තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය නිසි ලෙස පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වීමේ අවදානමක්
ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.
විශේෂයෙන්ම රටෙහි බොහෝ ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතියත්, පවතින ආහාර නිසි ලෙස බෙදී යාමේ ගැටලුවත් යන කාරණා නිසා මෙම තත්ත්වය හට ගෙන ඇති බව ඒ මහතාගේ අදහස වී තිබේ.


වසර 10කට ආසන්න කාලයක් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන තිබ්බටුවාව මහතා, කෘෂිකාර්මික ආර්ථිකවිද්‍යාව, කෘෂිකාර්මික වෙළෙඳාම, ආහාර සුරක්ෂිතතාව සහ පරිසරය හා ස්වාභාවික සම්පත් ආර්ථිකවිද්‍යාව යන ක්ෂේත්‍ර තුළ පර්යේෂණ සිදු කරයි. එසේම අවස්ථා කිහිපයකදීම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ රජයේ උපදේශකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අර්ථ දැක්වීම අනුව ආහාර සුරක්ෂිතතාව යනු අවශ්‍ය
ප්‍රමාණයට ආහාර ලබා ගෙන ඉන් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමට ඇති හැකියාවයි. මෙහිදී එය සම්පූර්ණවීමට තිබිය යුතු මූලික කරුණු හතරකි. ආහාරවල උපයෝග්‍යතාව, ආහාර සඳහා වන ප්‍රවේශය,
ආහාරවල උපයෝගීතාවය සහ ආහාරවල ස්ථායිතාව එම කරුණු ලෙස සැලකෙයි.

ඒ අනුව, වර්තමානයේදී රට තුළ තවත් මාස ගණනාවකට ප්‍රමාණවත් සහල් සංචිතයක් තිබුණත්, එළවලු සහ පළතුරු ඵලදාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙළෙඳ පොළේ තිබුණත් මෙම සියලු ආහාර නිසි ලෙස බෙදී නොයෑම සහ අතමිට ඇති අය පමණක් මේවා මිලදී ගැනීමත් යන කාරණා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ගැටලු ඇති කරවීමට ප්‍රධානවම හේතු වී ඇතැයි මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.

“ලංකාවේ අපගේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. ඒ සඳහා අවශ්‍ය වන සහල් ප්‍රමාණවත් තරමින් දැන් ගබඩා කරලයි තියෙන්නේ. රජය ගිය අවුරුද්දේ මහ කන්නයෙන් වී මෙට්‍රික් ටොන් මිලියන 2.8 ක වී නිෂ්පාදනයක් බලාපොරොත්තු වුණා. ඉන් 70%ක් පමණ හාල් කිරීමේ අනුපාතයක් පවතිනවා. එය හාල් මෙට්‍රික්ටොන් මිලියන 1.9 ක්. සාමාන්‍යයෙන් අපේ රටේ පුද්ගලයෙකුගේ වසරකට සහල් පරිභෝජනය
කිලෝග්‍රෑම් 104ක් පමණ වෙනවා. ඒ කියන්නේ මිලියන 22ක් වන රටේ ජනතාවට තවත් මාස අටක් -
නවයක් ප්‍රමාණයකට සෑහෙන්න සහල් දැන් රටේ තියෙනවා.”

එහෙත් මෙහි ගැටලුව බවට පත්ව ඇත්තේ ගබඩාවල ඇති එම සහල් නිසි ලෙස ජනතාව අතරට පත්වීම සඳහා අවශ්‍ය සැපයුම් දාමය සාර්ථකව ක්‍රියාත්මක නොවීම බව හෙතෙම පවසයි. එසේම තනි තනි පුද්ගලයන්  කරන අනවශ්‍ය ගොඩගැසීම් නිසාද රට තුළ සහල් අර්බුදයක් හට ගෙන ඇතැයි ඔහු සඳහන් කරයි.

“මේ අනවශ්‍ය ලෙස ගොඩගසා ගැනීම කියන දේ විශාල ගැටලුවක්. සල්ලි තියෙන කෙනා කොහොම හරි
කරලා සහල් ඇතුළු ආහාර ගොඩ ගසා ගන්නවා. සතියකට හාල් කිලෝ එක - දෙක අරගන්න කෙනාට ඒ දේ
කරන්න බැහැ. එය එම ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවට සහ පෝෂණයට බලපානවා.”

එසේම රටෙහි එළවලු සහ පළතුරු ඵලදාවද නිසි ලෙස බෙදී නොයෑමද මෙම ආහාර සුරක්ෂිතතාවට සහ
ජනතාවගේ නිසි පෝෂණයට බලපා ඇතැයි මනෝජ් තිබ්බටුවාව මහතා සඳහන් කර සිටියි.

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මේ වනවිට රටෙහි සමස්ත එළවලු සහ පළතුරු පලදාවන්ගෙන්
60%කට ආසන්න ප්‍රමාණයක් නෙලාගෙන අවසන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව සාමාන්‍ය
පුද්ගලයෙකුගේ දෛනික එළවලු සහ පළතුරු පරිභෝජනය ග්‍රෑම් 400ක් විය යුතුයි. ඒත් 2017 – 2018
කාලසීමාවේදි සිදුකළ පර්යේෂණයකට අනුව අපේ රටේ ජනතාවට දෛනිකව පරිභෝජනයට ලැබෙන්නේ ග්‍රෑම්
200ක විතර එළවලු සහ පළතුරු ප්‍රමාණයක් බවට හඳුනාගත්තා.”


කෙසේ වෙතත් කෝවිඩ්-19 වසංගත තත්ත්වයත් සමගම සිදුව ඇති මෙම එළවලු සහ පළතුරු බෙදී යාමේ
ගැටලුව නිසා මෙම දෛනික එළවලු සහ පළතුරු අවශ්‍යතාව අද ග්‍රෑම් 100ක් පමණ මට්ටමටත් වඩා
පහත වැටී ඇතැයිද මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.

“මෙතැනදී සැපයුම් දාමයේ පවතින ගැටලුවත් ප්‍රධානයි. අද වෙන කොට ගොවීන්ට තමන්ගේ
නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා ගන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම නාගරික ජනතාවට එම
ගොවි නිෂ්පාදනවලට වඩා ඉහළ මිලක් ගෙවන්න වෙලා. උදාහරණයක් විදියට ගොවීන්ට අද එළවලු කිලෝවක්
රුපියල් 20කටවත් විකුණන්න බැරි වෙලා. ඒ නිසා ඔවුන් ඒවා අලෙවි කිරීමට අධෛර්යමත් වෙලා. ඒ
හේතුවෙන් අද නාගරිකව එළවලු සහ පළතුරු සුලභ නොවන තත්ත්වයට පත්වෙලා. ඒ හරහා පාරිභෝගිකයන්ට
එළවලු කිලෝවකට රුපියල් 200ක් වගේ මුදලක් ගෙවන්න සිදු වෙලා.”

එසේම අන්තර්ජාලය හරහා නිවෙස් වෙත ඇනවුම් කරන එළවලු සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
මිලදී ගැනීමේදීද ඉතා වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව දැනට මෙම ගොවි නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ගෙන යන යාන්ත්‍රණය අර්බුදයට ලක්ව ඇති
බවත්, එය හැකි ඉක්මණින්ම නිවැරදි කළ යුතු මට්ටමේ පවතින බව ඔහු පෙන්වා දෙයි. ඒ හරහා මෙම
ගොවි නිෂ්පාදන සාධාරණ මිලකට නාගරික සහ අර්ධනාගරික මෙන්ම දැනට කෝවිඩ් -19 නිසා වසා දමා
ඇති ප්‍රදේශ වෙත සැපයීම අනිවාර්යය වී ඇති බවත් මනෝජ් තිබ්බටුවාව මහතාගේ අදහස වී තිබේ. 

මේ අතර, රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මකව පවතින ගෙවතු වගා වැඩසටහනද මේ මොහොතේදී රට තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පවත්වාගෙන යාමට ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් බවද හෙතෙම සඳහන් කරයි. විශේෂයෙන්ම මෙම වසංගත තත්ත්වයෙන් අනතුරුව රට තුළ උද්ගතවිය හැකි ආහාර අර්බුදයට යම් තරමකින් හෝ සහනයක් ලබා දීමට මෙම ගෙවතු වගා වැදගත් බව හෙතෙම පවසයි.

“කොහොමත් මේ වසංගත තත්ත්වයෙන් පසුව උදාවන අවස්ථාවන් නිසා රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව
තවත් අඩුවෙනවා. දැනට ක්‍රියාත්මක කරන මේ ගෙවතු වගා ව්‍යාපෘතිය මීට පෙර සිටම පැවතුණු
දෙයක්. ඒත් මේ කෝවිඩ්-19 වසංගතයත් සමගම එය තවත් ජනතාව අතර ව්‍යාප්ත වෙලා තියෙනවා.
විශේෂයෙන්ම ගොඩක් පිරිසක් නිවෙස්වල කල්ගත කරන නිසා මෙය සාර්ථක කරගන්න පුළුවන් කියන තත්ත්වය ඇති
වෙලා. මොන අභියෝගය මැද වුවත් මෙය ඉදිරියටත් පවත්වාගෙන යාම තමයි වැදගත් වෙන්නේ.” මනෝජ්
තිබ්බටුවාව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් රජයේ මැදිහත්වීමෙන් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නංවාලීමට බොහෝ පහසුකම් ලබා
දුන්නද, කෝවිඩ්-19 නිසා පහත වැටී ඇති සංචාරක කර්මාන්තය සහ ආහාර සහ පාන වර්ග නිෂ්පාදන
අංශයන්හි පවතින අඩු ඉල්ලුම නිසා එම ක්ෂේත්‍රය යම් කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් පවතින බවත්
හෙතෙම පවසයි. එසේම දැනට පවතින දේශසීමා වසා දැමීම් නිසා ආනයන සීමාවීමෙන් කෘෂිකර්මාන්තයට
අවශ්‍ය පොහොර, කෘෂි රසායනික යනාදිය හිඟවීමේද ගැටලුවක් පවතින බවත්, දිස්ත්‍රික්කයක සිට තවත්
දිස්ත්‍රික්කයක් දක්වා සිදුකරන සංචරණයද සීමාවී ඇති නිසා කෘෂි ක්ෂේත්‍රය වෙත අවශ්‍ය සේවක
හිඟයක්ද ඇතිවීමේ අවස්ථාවක් පවතින බවද මනෝජ් තිබ්බටුවාව මහතාගේ අදහස වී තිබේ.

භානුක අමරසිංහ (අද)