ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය ලෝක සෞඛ්‍ය සංවිධානය කෙරෙහි යොමුව ඇත්තේ මෙම නව කොරෝනා වෛරසයත් සමගයි. කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ලෝක
සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් ලබාදෙන අරමුදල් සැපයීම පසුගිය දිනක අත්හිටුවන ලදී . ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ  නව කොරෝනා වෛරසයේ යථාර්ථය විනිවිද පෙනෙන අයුරින් ප්‍රමාණවත් ලෙස සියලු තොරතුරු  ලබාගැනීමටත් ඒවා ලෝකය සමඟ බෙදා ගැනීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වී ඇති බවයි. එබැවින් තමන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පිරිනමන අරමුදල අත්හිටුවන බව ඔහු විසින් වැඩිදුරටත් සදහන් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව පුරා සෞඛ්‍ය හා රෝග වැළැක්වීම සඳහා පිහිටුවන ලද ආයතනයකි. මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයට වසරකට ඩොලර් මිලියන 400 කට වඩා ලබා දෙන්නේ ඇමරිකාවයි. නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් මෙසේ හදිසියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙනු ලබන අරමුදල් නවතා දැමීම ඉතා බැරෑරුම් තත්වයක් උදා කිරීමට දායක වනු ඇතැයි බොහෝ විශේෂඥයන් පෙන්වා දෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදි තොරතුරු පැවසීමට අපොහොසත් වී ඇති අතර ඔවුන් චීනය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බව පෙනෙන්නට ඇති බවයි. ඒ හේතුවෙන් චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ මෙම වෛරසය මේ වන විට ලෝකය පුරා පැතිර ගොස් ඇති බැවින් එයට ලෝක සෞඛ්‍ය සංවිධානය ද වගකිව යුතු බව ඔහු තරයේ ප්‍රකාශ කර සිටී.

එමෙන්ම මෙම වෛරසය කළමනාකරණය කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානයට හැකියාව තිබියදීත් ඔවුන් ඒ කෙරෙහි දැඩි උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් මේ වන විට බොහෝ රටවල් සංඛ්‍යාවක් වඩාත් අසරණව සිටින බව බෝවන රෝග විශේෂඥයන් බොහෝ දෙනෙක් පෙන්වා දී තිබේ. නමුත් ඇතැම් පිරිසක් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා මුදල් ආපසු ගෙවීමේ තීරණයට සහය දැක්වීම කෙරෙහි දේශපාලනයේ දෘෂ්ටිකෝණයෙන් නොබැලිය යුතු බවයි.

කෙසේ වෙතත් ඇමරිකාව දිගින් දිගටම පවසා තිබෙන්නේ මෙම නව කොරෝනා වෛරසය නොවැළැක්විය හැකි ලෙස මතුවීම තමන්ගේ රජයට ඉතා බරපතළ ලෙස බලපා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය කාර්යය නිසියාකාරව සිදු කළේ නම්  ඔවුන්ට කිසිසේත් මෙවන් තීරණයකට මුලපිරීමට සිදුනොවනු ඇති බවත්ය.

කෙසේ වෙතත් බොහෝ විශේෂඥයන් පවසා තිබෙන්නේ ඇමෙරිකාව මෙසේ තමන්ගේ අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සැපයුම නවතා දැමීම අනවශ්‍ය මරණවලටද ප්‍රධාන හේතු සාධකයක් වනු ඇති බවයි.

- රිෂ්මි ඉෂාරා -