කොරෝනා වසංගතයේ පැතිර යෑමත් සමඟ බොහෝදෙනා පෙරටත් වඩා අන් අයට උපකාර කරමින් සහයෝගයෙන් කටයුතු කළ බව අපට අසන්නට ලැබිණ. ගහේ හැදෙන කොස් ගෙඩිය, පොළොස් ගෙඩිය පමණක් නොව හාල් පොල් ටික පවා අසල්වැසියන්ට නොමිලේ බෙදා දුන් පුද්ගලයන් පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. එක්සත් රාජධානියේ Metro පුවත්පතේද එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණි.
අවුරුදු 26ක් වයසැති ක්ලෝ හෝල් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට
ආහාරයට ගැනීම සඳහා ලසඤ්ඤා සෑදීම ආරම්භ කළ තරුණියකි. ඇයව ආදර්ශයට ගත් බොහෝදෙනාද පසුව මෙලෙස ආහාර පිස වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ලබා දීමට සැලසුම් කළහ. ක්ලෝ හෝල් ජීවත් වන්නේ මධ්‍යම එංගලන්තය අසලය. ඇය අලුතින් ආරම්භ කළ ආයතනයක අලෙවි කළමනාකරුවෙකි. පහතින් දැක්වෙන්නේ ඇගේ කතාවය.
“ආයතන වැසීමෙන් පසුව මොනවාද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. එතකොට තමයි මගේ මිතුරෙක් වන ෆ්ලෝරිස් මගෙන් ඇහුවේ NHS එකට දෙන්න ලසඤ්ඤා හදමුද කියලා. දන්න අඳුරන වෛද්‍යවරු සේවය කරන Kings සහ St. Thomas කියන රෝහල්වලට ලසඤ්ඤා හදන්නම් කියලා ෆ්ලෝරිස් කිව්වා. විශේෂයෙන්ම ඔහු ලසඤ්ඤා හදන්න තෝරගත්තේ ඇයි කියලා මං දන්නේ නැහැ. මම කවදාවත් එයාට ලසඤ්ඤා හදලා දීලා නැතත් අපි හිටියේ එක ෆ්ලැට් එකේ නිසා මගේ කෑම එයා රස බලලා තියෙනවා. ඉතින් මම NHS වැඩ කරන 30-40කට ඇති වෙන්න ලසඤ්ඤා 5ක් හෝ 6ක් හදන්න අවශ්‍ය කරන සියලුම දේවල් මිලට ගත්තා.

විශේෂයෙන්ම නව කොරෝනා වෛරස් රෝගයට ප්‍රතිකාර කරන වාට්ටුවේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝහලේ අනෙකුත් කොටස්වලට පිවිසීමට අවසර නොතිබූ නිසාත් ආපන ශාලා හවස 5 වන විට වසා දමන නිසාත් මේ කරන දේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මට තේරුණා. මුලින්ම ගෙදරට කොටු වුණාම කලකිරීමක් දැනුණත් දැන් මං කාලය යොදවන්නේ NHS එකට උදව් කරන්නයි. ඔවුන්ගේ සේවය අතිවිශිෂ්ටයි. අපි Instagram එකේ hashtag එකක් දැම්මා #furloughedfoodieslondon කියලා.

ඊටපස්සේ හුඟක් අය අපිට උපකාර කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. මුලින් ආහාර සකස් කරන්න යන වියදම දැරුවේ අපිමයි. ඒත් පසුව අපිට ගොඩක් සම්මාදම් ලැබුණා. දැන් අපිට ස්වේච්ඡා සේවකයන් 350ක් ඉන්නවා. ඔවුන් රෝහල් 15කට ආහාර සපයනවා. සෑම ඩිලිවරි එකකින්ම NHS කාර්යමණ්ඩලයේ 100 දෙනෙකුට පමණ ආහාර ලැබෙනවා. සතියට ආහාර 2200කට වඩා මේ විදිහට ලබා දෙනවා. ආහාර අසුරන්න අපි දැන් යොදාගන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇසුරුම්. කාර් එකෙන් ආහාර රෝහල වෙත රැගෙන යනවා, ඒත් අපි රෝහල ඇතුළට යන්නේ නැහැ. නියමිත දුර පවත්වාගන්නවා. තවමත් මම හැම සතියකම ආහාර පිළියෙල කරනවා. විශාල පිරිසකට ලෙහෙසියෙන් සකස් කළ හැකි ආහාර තමයි අපි පිසින්නේ.

ස්වේච්ඡාවෙන් වැඩ කරන අනිත් අය එවන පින්තූරත් මං නිතරම දකිනවා. වෛද්‍යවරුන් සහ හෙදියන් ආහාර සතුටින් භුක්ති විඳින ආකාරය සහ ඔවුන් ස්තුතිය පළ කරන පින්තූර අපිට නිතරම ලැබෙන නිසා මේ කාර්යය දිගටම කරගෙන යන්න ඒක අපිට දිරිගැන්වීමක්. දැන් මගේ කාලය හොඳින් පාවිච්චි කරන නිසා කලින් වගේ එපා වීමක් දැනෙන්නේ නැහැ. NHS කරන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් සේවයක්. ඔවුන්ට මේ විදිහට උපකාර කරන්න ලැබීම සතුටක්.”
අගුළු දැමීම අතරතුර උපකාර අවශ්‍ය පුද්ගලයන්ට සහ වයස්ගත පුද්ගලයන්ට උපකාර කිරීමට 36 හැවිරිදි ෆිල් සහ ඔහුගේ බිරිඳ වන 32 හැවිරිදි කෙලී ස්මිත් විසින් තීරණය කරන ලදි. පහතින් දැක්වෙන්නේ ෆිල්ගේ කතාවය.
“ලොක්ඩවුන් කරලා සතියකට පසුව ඉරිදා දිනක කෙලී සහ මම ප්‍රවෘත්ති බලමින් ඉද්දී අපි දැනගත්තා තත්වය බරපතළ වෙමින් පවතිනවා කියලා. ඉදිරියේදී තත්වය තවත් බරපතළ අතට හැරෙයි කියලා මට හිතුණා. බොහෝදෙනාට උපකාර අවශ්‍ය වෙයි කියා සිතුණ නිසා අපි ෆේස්බුක් හරහා Covid-19 සහාය කණ්ඩායමක් සැලසුම් කළා. පැයක් ඇතුළත ඊට සාමාජිකයන් 600 දෙනෙක් එක් වී සිටියා. ඊළඟ දවසේ උදෑසන අප අවදි වන විට පුද්ගලයන් 2000ක් එයට සම්බන්ධ වී සිටියා. නමුත් වැඩි අවධානමක් තිබෙන පුද්ගලයන් සහ වයස්ගත තැනැත්තන් බොහෝවිට ෆේස්බුක් භාවිත නොකරන නිසා අප ඒ වෙනුවෙන්ම දුරකථන අංකයක් පවත්වාගෙන යෑමට තීරණය කළා. එම දුරකථන අංකය හඳුන්වා දෙමින් පත්‍රිකා බෙදා දුන්නා. ‘නිවසට අවශ්‍ය බඩු හෝ ඖෂධ ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න’ කියා සඳහන් කළ පත්‍රිකා නිවෙස් 1000කට පමණ ලබා දුන්නා. මුලින්ම ඉල්ලීමක් ලැබුණේ අපේ නිවසේ සිට නිවෙස් 6කට එහායින් පදිංචි වී සිටින 92 හැවිරිදි කාන්තාවකගෙන්.

මට කවදාවත් ඇයව මුණගැසී තිබුණේ නැහැ. නිවසට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගන්න මා ඇයට උදව් කළා. ඇය ගොඩක් සතුටු වුණා. අවුරුදු 99ක පුද්ගලයෙකුගෙනුත් අපට ඇමතුමක් ලැබුණා. අප ඒ අමතුමට අනුව පිටතට යෑමේදී එක් නිවසක දොරක ‘මට උදව් කරන්න’ කියලා සටහනක් දාලා තිබුණා. කවුරුවත් මීට කලින් ඒ සටහන දකින්න නැතුව ඇති. එදා අපි ඒ තැනැත්තාට නැවුම් පළතුරු සහ එළවළු ගිහින් දුන්නා. දැන් අපි සතියට සැන්විච් 200ක් ලබා දෙන ආයතනයක් සමඟ වැඩ කරනවා. සෞඛ්‍ය සේවකයන් පවා දැන් මිනිසුන්ව අපේ ස්වේච්ඡා සේවය ‍වෙතට යොමු කරනවා. දැන් අපි එක්ක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 6000ක් ඉන්නවා. අගුළු දැමීමෙන් පසු අසල්වැසියන් අතර පවතින සහයෝගය සහ එකමුතුකම වැඩි වෙලා තියෙනවා.
මේ කාර්යයයේ හවුල් වෙන්න ලැබීම අපිට සතුටක්.”
ස්කොට්ලන්තයේ වාණිජ සම්බන්ධ නියෝජ්‍ය විධායක නිලධාරියෙක් වන චන්ද්‍රදීප් සිං අගුළු දැමීම අතරතුර අසරණ වී සිටින පුද්ගලයන්ට සහ උපකාර අවශ්‍ය තැනැත්තන්ට අවශ්‍ය සහාය ලබා දීමට පියවර ගත් පුද්ගලයෙකි. පහතින් දැක්වෙන්නේ ඔහුගේ කතාවය.

“අගුළු දැමීම නිවේදනය කරන්න කලින් මිතුරන් සමඟ එකතු වී අන් අයට උපකාර කරන්න පුළුවන් ආකාර ගැන අප සාකච්ඡා කළා. අපි පහුවදා, ඒ කියන්නේ මාර්තු 21 සිට ආහාර ප්‍රවාහනය කරන්න ආරම්භ කළා. මේ පාර්සල්වල ගොඩක් දේවල් තියෙනවා. කිරි, පාන්, ටින් කරන ලද ඇට වර්ග සහ තේ, කෝපි, සීරියල්, බිස්කට් වර්ග වගේ වියළි ආහාරත් ඒකට ඇතුළත්. එළවළු සහ පළතුරු නැවුම් විය යුතු නිසා අපි ඒවා ලබාගන්නේ බෙදාහරින දිනයේදීමයි. අපිට කොතරම් ප්‍රමාණයක් අවශ්‍යද කියලා අපි තොග වෙළඳසැල්වලට දැනුම් දුන්නාම එම වෙළඳසැල්වලින් අපට අවශ්‍ය ප්‍රමාණය වෙන් කර තබනවා.

මිනිසුන්ගේ අවශ්‍යතා ගැනත් අපි සැලකිලිමත්. පසුගිය සතියේ අපි ස්විස් රෝල් පවා බඩු ලැයිස්තුවට එකතු කළා. අපි එක් එක්  පුද්ගලයාගෙන් අහනවා එයාලා අවශ්‍ය දේවල් විතරක් නෙවෙයි, කැමති යම් විශේෂ දේවලුත් තියෙනවාද කියලා. සමහර පුද්ගලයන් කියනවා එයාලා චොක්ලට් එකකට කැමතියි වගේ දේවල්. මේ විදිහට එක් එක් පුද්ගලයාගේ කැමති අකමැති දේවල් අහන්න කාලය ගත වුණත් එසේ කිරීම බොහෝදෙනාට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. අපේ සේවය අගය කරලා ෆෙස්බුක්, ට්වීටර් ඇතුළු විවිධ ක්‍රමවලින් අපට බොහෝ පණිවිඩ ලැබෙනවා. මේ වෙද්දී අපි පාර්සල් 20,000ක් පමණ බෙදාහැරලා තියෙනවා. වයස්ගත පුද්ගලයන්ට, නිවෙසක් නැති පුද්ගලයන්ට සහ හෙදියන්, පොලිස් නිලධාරීන් වැනි අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත වන අයට ඒවා ලබා දී තිබෙනවා. ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී සමාජ දුරස්ථභාවය පවත්වාගත්තද ඒවා ලබා දෙන පුද්ගලයන්ට සිනහවකින් සංග්‍රහ කර අත වැනීමට අපේ ස්වේච්ඡා සේවකයන් අමතක කරන්නේ නැහැ.”

කොරෝනා අතරතුර උපකාර අවශ්‍ය පුද්ගලයන්ට අත දීමටද අමතක නොකළ තවත් බොහෝදෙනෙක් ලොව පුරා වෙසෙති. ඔබත් එවැනි පුද්ගලයෙකු විය හැකිය.
එස්. දහනායක
(එක්සත් රාජධානියේ Metro පුවත්පත ඇසුරිනි)